එස්තර් 3:1-14
එස්තර් 3:1-14 SCV
මේ සිද්ධීන්වලට පසු, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්, තනතුරින් උසස් කළ අහෂ්වේරොෂ් රජු, ඔහු සමඟ සිටි අනෙක් සියලු අධිපතියනට වඩා ගරු කටයුතු අසුනක් දෙමින්, ඔහුට උපහාර දැක්වී ය. රජුගේ සියලු නිලධාරීන් රජ වාසලදී දණ නමා, හාමාන්ට ගෞරව දැක්වූහ. ඔහුට එසේ කළ යුතු යයි රජු නියෝග කර තිබිණි. එහෙත් මොර්දෙකයි ඔහුට දණ නැමුවේවත්, ප්‍රණාමය දැක්වූයේවත් නැත. එකල රජ වාසල රාජ්‍ය නිලධාරීහු, මොර්දෙකයි විමසමින්, “රජුගේ ආඥාව ඔබ කඩ කරන්නේ මන්දැ?” යි ඇසූහ. ඔවුහු දවසින් දවස මේ ගැන ඔහුට කී නමුදු, ඔවුනට සවන් දීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය. එබැවින් ඔවුන් ඒ වග හාමාන්ට පැවසුවේ, මොර්දෙකයිගේ වචන, හාමාන් ඉවසාදෝයි බලනු පිණිස ය. මන්ද තමා යුදෙව්වරයකු වග ඔහු ඔවුනට කියා තිබිණි. මොර්දෙකයි තමාට දණ නො නමන වග හා ගෞරව නො දක්වන වග දුටු හාමාන් ක්‍රෝධයෙන් ඇවිළිණි. එහෙත් මොර්දෙකයි යුදෙව්වරයකු වග ඔහුට දැනගන්නට ලැබුණෙන්, මොර්දෙකයි පමණක් මරා දැමීමේ අදහස සුළු කොට තැකූ හාමාන්, මොර්දෙකයිගේ මුළු ජනතාව ම, අහෂ්වේරොෂ් රාජධානිය මුළුල්ලේ වෙසෙන යුදෙව් ජාතිය ම විනාශ කිරීමේ මඟක් සෙවී ය. අහෂ්වේරොෂ් රජුගේ දොළොස් වන වසරේ, පළමු මස වන නීසාන් මාසයේ ඒ සඳහා නිසි දිනය හා මාසය තීරණය කර ගැනීමට හාමාන් තමා ඉදිරිපිටදී ම පූර් නම් වූ පස ඇට දැමීම කරවී ය. පස ඇටය වැටුණේ, දොළොස් වන මාසය වන අදාර් මාසයට ය. ඉන්පසු අහෂ්වේරොෂ් රජු ඇමතූ හාමාන්, “ඔබගේ රාජධානියේ ප්‍රාන්ත සියල්ල පුරා විසිරී, අනිකුත් ජනයා අතර පැතිරී සිටින ජන කොටසක් සිටී. ඔවුන්ගේ නීති-රීති අන් හැම ජන කොටසකට ම වඩා වෙනස්; රජ්ජුරුවන්ගේ නීති-රීතිවලට ඔවුන් කීකරු නො වේ. එබැවින් ඔවුන්ගේ පැවැත්ම රජුගේ යහපත පිණිස නො වෙයි. රජු කැමති නම්, ඔවුන් විනාශ කර දැමීමට නියෝගයක් නිකුත් කෙරෙත්වා. එවිට, රජුගේ එම කාර්යය කරවන්නන් අතට රිදී තලෙන්ත දස දහසක් මම දෙන්නෙමි. රාජ්‍යයේ භාණ්ඩාගාරයට ඒවා දැමිය හැකි යැ” යි පැවසී ය. එවිට රජු තම අතේ වූ පේරැස් මුද්ද ගලවා, යුදෙව්වන්ගේ හතුරා වූ අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්ට දුන්නේ ය. “රිදී ඔබට දී ඇත; ඒ ජනයාත් ඔබටයි. ඔබට හොඳයයි පෙනෙන පරිද්දෙන් ඔවුනට කරන්නැ” යි රජු හාමාන්ට කීවේ ය. පළමු වන මස දහතුන් වන දින රාජ්‍ය-ලේකම්වරුන් කැඳවන ලදී. ඔවුහු, හාමාන් අණ කළ සියල්ල රජුගේ ප්‍රාදේශීය ආණ්ඩුකාරයින්ටත්, විවිධ ප්‍රාන්ත-පාලකයන්ටත්, විවිධ ජන කොටස් හි අධිපතීන්ටත් ඒ ඒ ප්‍රාන්තයට පොදු අකුරින් හා එක් එක් ජනතාවගේ මවු බසින්, අහෂ්වේරොෂ් රජුගේ නමින් ආඥාපත් ලියා, රජුගේ පේරැස් මුද්දෙන් ම මුද්‍රා තබන ලදී. එක ම දවසක, එනම් අදාර් නම් වූ දොළොස් වන මස දහතුන් වන දින බාලයින් හා මහල්ලන් ද ස්ත්‍රීන් හා ළමයින් ද යන සියලු යුදෙව්වන් විනාශ කිරීමේ, මරා දැමීමේ, සමූලඝාතන කිරීමේ හා ඔවුන්ගේ වස්තුව කොල්ලකෑමේ නියෝගය සඳහන් ආඥාපත් රැගත් රාජ දූතයෝ රජුගේ සියලු ප්‍රාන්ත වෙත යවන ලදහ. ඒ දවසට ජනයා සූදානම් ව සිටින පිණිස, එම ආඥා ලියවිල්ලෙහි පිටපතක් හැම ප්‍රාන්තයක ම නීතිය වශයෙන් නිවේදන කොට, සෑම ජාතියකට ම අයත් ජනතාවට දැනගන්නට සැලැස්විය යුතු විණි.

