එපීස 3:7-20
එපීස 3:7-20 SCV
දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණය මගින් උන්වහන්සේගේ බලයේ ක්‍රියා කිරීම තුළින්, මම ඒ ශුභාරංචියේ සේවකයකු කරනු ලැබ සිටිමි. සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්, සෑම සියල්ල මැවූ දෙවියන්වහන්සේ තුළ යුග ගණනාවක් සඟවා තබන ලද මෙම අබිරහසේ සැලැස්ම හැම කෙනකුට ම පහදා දීමටත් ය. උන්වහන්සේගේ අරමුණ නම් දෙවියන්වහන්සේගේ අනේක විධ ප්‍රඥාව, දැන් සභාව මාර්ගයෙන් ස්වර්ගීය බලමණ්ඩලවල පාලකයින්ටත්, අධිපතීන්ටත් දැනගන්නට සැලැස්වීමයි. එය කරනුයේ අපගේ ස්වාමියාණන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේ මුදුන් පැමිණ වූ උන්වහන්සේගේ ම සදාතනික අරමුණට අනුකූලව ය. ක්‍රිස්තුස්වහන්සේ අදහා ගැනීම මගින්, නිදහසේ, බිය සැක නැතිව ළඟා වීමට උන්වහන්සේ තුළ අපට පුළුවන. එබැවින්, ඔබ උදෙසා මා විඳින දුක් ගැහැට ගැන අධෛර්ය නො වන ලෙස මම ඔබෙන් ඉල්ලමි, සැබවින් ම ඒවා ඔබගේ ගෞරවයයි. මේ හේතුව නිසා පියාණන්වහන්සේ ඉදිරියේ මම දණ නමමි. ස්වර්ගයේ හා පොළොවේ හැම පවුලක් ම තම නාමය ලබන්නේ උන්වහන්සේගෙනි. උන්වහන්සේ තම ආත්මයාණන් මගින් ස්වකීය තේජසේ ඉසුරෙන් ඔබේ ඇතුළාන්ත පුද්ගලයා බලයෙන් සවිමත් කරන ලෙස මම යාච්ඤා කරමි. එසේ කරන්නේ, ඇදහිල්ල මගින් ක්‍රිස්තුස්වහන්සේ ඔබේ හදවත්හි වාසය කරන පිණිස ය. තවද ප්‍රේමයෙහි ඔබ මුල් ඇද, ස්ථිර ව පිහිටන පිණිසත්, සියලු ශුද්ධවන්තයින් හා එක් ව ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයේ දිග හා පළලත්, උස හා ගැඹුරත් කොතෙක් ද කියා ග්‍රහණය කර ගැනීමේ බලය ඔබට ලැබෙන පිණිසත්, දැනුම ඉක්මවාලන ඒ ප්‍රේමය දැනගැනීමට දෙවියන්වහන්සේගේ සකල පරිපූර්ණත්වයේ මිනුමට ඔබ පූර්ණ කරන පිණිසත් ය. අප තුළ ක්‍රියා කරන ස්වකීය බලයට අනුව අප ඉල්ලන හෝ අප සිතන හෝ හැම දේට ම වඩා බොහෝ වැඩියෙන් ක්‍රියා කිරීමේ අපරිමේය හැකියාවක් ඇති දෙවියන්වහන්සේට

