එපීස 2:12-21

එපීස 2:12-21 SCV

එකල ඔබ ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් ව, ඉශ්‍රායෙල් පුරවැසි භාවයට පිටස්තරයින් ව, පොරොන්දුවේ ගිවිසුම්වලට පරදේශික ව, බලාපොරොත්තු රහිත ව, දෙවියන්වහන්සේගෙන් තොර ව ලෝකයේ සිටි හැටි සිහි කරන්න. එහෙත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දැන්! වරක් දුරස්ථ ව සිටි ඔබ, ක්‍රිස්තුස්වහන්සේගේ ලේවලින් ළං කරනු ලැබ ඇත. මන්ද අපගේ සාමය උන්වහන්සේ ම ය; අප දෙගොල්ල එක් කණ්ඩායමක් බවට පත් කළ උන්වහන්සේ හරස් කඩුල්ල වන එදිරිවාදිකමේ මැද බිත්තිය, ස්වකීය මාංසය තුළ බිඳ හෙළුවේ, ආඥා හා නියෝග රැගත් ව්‍යවස්ථාව අහෝසි කරමිනි. උන්වහන්සේගේ අරමුණ වූයේ මේ දෙගොල්ලගෙන් තමන්වහන්සේ තුළ එක නව මිනිසකු නිර්මාණ කිරීමත්, එසේ සාමය සලසමින්, තමන් විසින් ප්‍රතිවිරෝධය නසන ලද කුරුසිය මගින්, මේ දෙගොල්ල ඒ එක් ශරීරය තුළ දෙවියන්වහන්සේ හා සමඟි කිරීමත් ය. උන්වහන්සේ අවුත් දුර සිටි ඔබට සාමය දේශනා කළ සේක්, ළඟ සිටි අයට ද සාමය දේශනා කළ සේක. මන්ද එක ම ආත්මයාණන් මගින් පියාණන්වහන්සේ වෙත පිවිසීමේ වරම අප දෙගොල්ලට ම ඇත්තේ උන්වහන්සේ තුළිනි. එබැවින් ඔබ, තවදුරටත් විදේශීන්වත්, පිටස්තරයින්වත් නො වේ. ශුද්ධවන්තයින් සමඟ ඔබත් සමාන පුරවැසියන් ය; දෙවියන්වහන්සේගේ ම පවුලේ සාමාජිකයින් ය. ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය. මුළු මහත් ගොඩනැගිල්ල උන්වහන්සේ තුළ එකට සම්බන්ධ කරනු ලැබ, ස්වාමින්වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් ව ගොඩ නැගේ.

එපීස 2 කියවන්න