දේශනාකරු 7:3-14

දේශනාකරු 7:3-14 SCV

ශෝකය, සිනහවට වඩා හොඳ ය; මන්ද ශෝකී මුහුණ, හදවතට හොඳ ය. ප්‍රඥාවන්තයාගේ හදවත ඇත්තේ ශෝකයේ ගෙදර ය; එහෙත් අඥානයින්ගේ හදවත ඇත්තේ විනෝදයේ ගෙදර ය. ප්‍රඥාවන්තයකුගේ තරවටුවට සවන් දීම, අඥානයින්ගේ ගීයක් අසනවාට වඩා හොඳ ය. අඥානයින්ගේ සිනාව, හැළියක් යට ගින්නේ කටු දර පුපුරන්නා වැන්න; මෙය ද නිරර්ථක ය. බලහත්කාරය, ප්‍රඥාවන්තයා මෝඩයකු කරවයි, අල්ලස, හදවත දූෂ්‍ය කරයි. යම් දෙයක අවසානය එහි පටන් ගැන්මට වඩා හොඳ ය. ඉවසිලි ආත්මයක් ඇත්තා, අහංකාර ආත්මයක් ඇත්තාට වඩා හොඳ ය. ඔබගේ ආත්මයෙන් කෝපවීමට ඉක්මන් නො වන්න; මන්ද කෝපය ලැග සිටින්නේ, අඥානයාගේ ළයෙහි ය. “පළමු දවස් මේවාට වඩා හොඳ ව තිබුණේ ඇයි දැ?” යි නො කියන්න. මන්ද එබඳු ප්‍රශ්න කිරීම් නුවණට හුරු නැත. උරුමයක් සේ ම ප්‍රඥාව ද හොඳ දෙයකි; හිරු දකින්නන්ට එය ලාභයක් ය. ධනය, රැකවරණයක් වන්නා සේ ම ප්‍රඥාව ද රැකවරණයකි. අවබෝධයෙහි ඇති වාසිය වන්නේ: ප්‍රඥාව එය හිමි ව සිටින්නාගේ ජීවිතය ආරක්ෂා කර දීමයි. දෙවියන්වහන්සේ කර ඇති දෑ කල්පනාවට ගන්න: උන්වහන්සේ වක ගැසූ දේ කෙළින් කළ හැක්කේ කවරකුට ද? සමෘද්ධිමත් කාලයේදී ප්‍රීති වන්න; විපත්ති කාලයේදී මෙය කල්පනාවට ගන්න: එය ද මෙය ද නිම වන ලද්දේ දෙවියන්වහන්සේ විසිනි; එබැවින් තමාට පසු සිදුවන කිසිවක් මිනිසාට දැනගත නො හැකි ය.