දේශනාකරු 7:11-29
දේශනාකරු 7:11-29 SCV
උරුමයක් සේ ම ප්‍රඥාව ද හොඳ දෙයකි; හිරු දකින්නන්ට එය ලාභයක් ය. ධනය, රැකවරණයක් වන්නා සේ ම ප්‍රඥාව ද රැකවරණයකි. අවබෝධයෙහි ඇති වාසිය වන්නේ: ප්‍රඥාව එය හිමි ව සිටින්නාගේ ජීවිතය ආරක්ෂා කර දීමයි. දෙවියන්වහන්සේ කර ඇති දෑ කල්පනාවට ගන්න: උන්වහන්සේ වක ගැසූ දේ කෙළින් කළ හැක්කේ කවරකුට ද? සමෘද්ධිමත් කාලයේදී ප්‍රීති වන්න; විපත්ති කාලයේදී මෙය කල්පනාවට ගන්න: එය ද මෙය ද නිම වන ලද්දේ දෙවියන්වහන්සේ විසිනි; එබැවින් තමාට පසු සිදුවන කිසිවක් මිනිසාට දැනගත නො හැකි ය. නිරර්ථක මගේ ජීවිතයේදී මම මේ සියල්ල ම දැක ඇත්තෙමි: එනම්, දමිටු මිනිසා තම දමිටුකමෙහි ම වැනසී යෑමත්, දුෂ්ට මිනිසා තම දුෂ්ටකමෙහි දිගු කල් ජීවත් වීමත් ය. අධි ධර්මිෂ්ඨයකු නො වන්න; අති පණ්ඩිතයකු ද නො වන්න. ඔබ ම විනාශ කර ගන්නේ කුමට ද? අති දුෂ්ටයකු නො වන්න; අඥානයකු ද නො වන්න; කාලයට කලින් නැසී යන්නේ කුමට ද? ඔබ එකක් අල්ලා ගන්නවා නම් හොඳ ය; අනෙක ද ගිලිහී යන්නට නො දෙන්න; දෙවියන්වහන්සේට භය පක්ෂ ඇත්තා ඒ දෙකෙන් ම ඉවත් වන්නේ ය. ප්‍රඥාව විසින් එක් ප්‍රඥාවන්තයකු පුරවරයක පාලකයින් දස දෙනකුට වඩා බලවත් කෙරේ. හරි දේ ම කරන, කොහෙත් ම පව් නො කරන, ධර්මිෂ්ඨ කෙනකු මිහි පිට කොතැනකවත් නැත. ජනයා පවසන හැම වචනයක් ම සැලකිල්ලට නො ගන්න; නැතහොත් ඔබේ මෙහෙකරු ඔබට ශාප කරනු ඔබට ඇසෙනු ඇත. මන්ද බොහෝ අවස්ථාවලදී ඔබත් අන්‍යයනට ශාප කර ඇති වග ඔබේ හදවතින් ම ඔබ දනී. මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කර, “මම ප්‍රඥාවන්ත වන්නෙමි” යි පැවසීමි; එහෙත් එය මගෙන් බොහෝ ඈත ය. පැවත තිබුණු දේ ඉතා දුරස්ථ ය; ගැඹුරු ය, ඉතා ගැඹුරු ය. එය සොයාගත හැක්කේ කවරකුට ද? එබැවින් මම ප්‍රඥාව හා හේතු-ඵල විභාග කර, නිරීක්ෂණ කර, වටහා ගැනීමට ද දුෂ්ටත්වයේ මෝඩකම හා අඥානකමෙහි උමතුව වටහා ගැනීමට ද මගේ සිත හැරවීමි. එවිට මරණයටත් වඩා අමිහිරි දෙයක් දැක්කෙමි; ඒ තමා ම උගුලක් වූ තම හදවත දැලක් ද තම අත් යදම් ද වූ ස්ත්‍රිය ය. දෙවියන්වහන්සේ ප්‍රසන්න කරන මිනිසා ඇගෙන් බේරී යන්නේ ය. එහෙත් පව්කරුවා ඇගේ අත්අඩංගුවට පත් වන්නේ ය. “මෙන්න! මම සොයා දැනගත් දේ” යි දේශනාකරු පවසන්නේ ය: “හේතු-ඵල විභාග කර දැනගන්නට එකක් එකක් පාසා– මම තවමත් විමසන නමුදු, මට දැනගන්නට නො ලැබුණු දේ මෙන්න– දහසක් දෙනා අතර එක් මිනිසෙක් මට හමු විය; එහෙත් ඒ හැම අතර එකදු ස්ත්‍රියකවත් නො විණ. මෙන්න මා දැනගත් එක ම දේ: දෙවියන්වහන්සේ ඍජු ගුණයෙන් මිනිසා මැවූ සේක, එහෙත් මිනිසා නොයෙකුත් කූටෝපායයන් සොයා ගොස් ඇත්තේ ය.”

