දේශනාකරු 3:9-22
දේශනාකරු 3:9-22 SCV
වැඩක් කරන්නාට ඔහුගේ වෙහෙසින් ඇති ප්‍රයෝජනය කුමක් ද? නියැළී සිටින පිණිස දෙවියන්වහන්සේ මිනිසුනට දී ඇති කාර්ය භාරය මම දැක ඇත්තෙමි. උන්වහන්සේ හැම දෙයක් ම ඊට අදාළ කාලයට අලංකාර කර තිබේ. උන්වහන්සේ සදාතනය ද මිනිස් හදවත්හි තබා තිබේ; එහෙත් දෙවියන්වහන්සේ පටන් ගැන්මේ සිට අවසානය දක්වා කර ඇති දෑ සොයා දැනගන්නට ඔවුනට නුපුළුවන. ජීවත් ව සිටියදී ප්‍රීතිමත් වී, යහපත කිරීමට වඩා හොඳක් මිනිසුනට නැති වග මම දනිමි. හැම කෙනකු ම කා, බී තම කාර්යයන් ප්‍රීතියෙන් භුක්ති විඳීම දෙවියන්වහන්සේගෙන් ලැබෙන ත්‍යාගයකි. දෙවියන්වහන්සේ කරන කවරක් වුව සදා පවතින වග මම දනිමි. ඊට කිසිවක් එකතු කිරීම හෝ එයින් කිසිවක් ඉවත් කිරීම කළ නො හැකි ය. දෙවියන්වහන්සේ එය කර ඇත්තේ මනුෂ්‍යයා, උන්වහන්සේට ගෞරව කරන පිණිස ය. දැන් තිබෙන දේ, මේ දක්වාත් තිබිණ, මතු ඇති වන දේ, මින් පෙර ද තිබිණ; පහු ගිය දේ, දෙවියන්වහන්සේ ආපසු කැඳවන සේක. හිරුට යට තවත් දෙයක් මම දුටුවෙමි: විනිශ්චය ස්ථානයේ දුෂ්ටකම තිබෙනු ද යුක්තියේ ස්ථානයේ දුෂ්ටකම තිබෙනු ද දුටුවෙමි. මම මට ම මෙසේ කියා ගතිමි: “දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත්, දුෂ්ටයාත් විනිශ්චය කරන සේක. මන්ද හැම කටයුත්තකට ම වේලාවක් තිබේ; හැම ක්‍රියාවකට ම වේලාවක් තිබේ.” මම මෙසේ ද මට ම කියා ගතිමි: “තමන් ද තිරිසනුන් හා සමාන වග මිනිසුන් දැනගන්නා පිණිස දෙවියන්වහන්සේ ඔවුන් සෝදිසි කරන සේක. මනුෂ්‍යයාගේ ඉරණම තිරිසනාගේ ඉරණම හා සමාන ය. දෙගොල්ලට සිදු වන්නේ එක ම දේ ය. උන් මෙන් ම මොවුන් ද මැරී යන අතර ඒ හැමට ම ඇත්තේ එක ම හුස්ම ය. තිරිසනාට ඉහළින් මිනිසාට ඇති වාසියක් නැත. හැම දෙයක් ම නිරර්ථක ය. සැවොම යන්නේ එක ම තැනකට ය; සැවොම දූවිල්ලෙනි. දූවිල්ලට ම සැවොම හැරී යති. මිනිසුන්ගේ ආත්මය ඉහළට නැගේ ද තිරිසනුන්ගේ ආත්ම පොළොවෙන් යටට යා ද කියා දන්නේ කවුරු ද?” තම වැඩවල ප්‍රීතිය භුක්ති විඳිනවාට වඩා හොඳක් මනුෂ්‍යයාට නැති වග මෙසේ මම දුටිමි. මන්ද එය ඔහුගේ පංගු කොටසයි. මන්ද ඔහුගෙන් පසු කුමක් වේ දැයි ඔහුට පෙන්වීමට ඔහු ආපසු ගෙන්වන්නේ කවුරු ද?

