දේශනාකරු 2:17-26

දේශනාකරු 2:17-26 SCV

හිරුට යටින් කරනු ලබන කාර්යයන් ශෝචනීය බැවින් මම ජීවිතයට ද්වේෂ කළෙමි. ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය. හිරු යට වීර්යයෙන් මා කළ හැම කටයුත්තක් ගැන ද්වේෂ කළෙමි. මන්ද මගේ අනුප්‍රාප්තිකයාට මා ඒවා තබා යා යුතු ව තිබේ. ඔහු ප්‍රඥාවන්තයකු වේ ද අඥානයකු වේ දැයි දන්නේ කවුරු ද? එසේ වුව ද හිරු යට මගේ වීර්යයෙන් හා ප්‍රඥාවෙන් කළ හැම කටයුත්තක ම පාලනය ඔහු සතු වන්නේ ය. මෙය ද නිරර්ථක ම ය. එබැවින් හිරු යට මා වීර්යයෙන් කළ හැම කටයුත්තක් ගැන මගේ හදවත කලකිරෙන්නට වන. මන්ද යම් කෙනකු තම ප්‍රඥාවෙන්, දැනුමෙන් හා සමත්කමින් කරන තමන් සන්තක කාර්යයන්හි උරුමය ඒ ගැන කිසි වැඩක් නො කළ කෙනකුට හැරපියා යෑමට සිදු වෙයි; මෙය ද නිරර්ථකයක් ය. මහ අවාසනාවක් ය. හිරු යටදී යම් කෙනකු වෙහෙස දරා මහත් පරිශ්‍රමයෙන් හා අධිෂ්ඨානයෙන් කරන කටයුතු සියල්ලට ඔහුට ලැබෙන්නේ මොනවා ද? ඔහුගේ සියලු දවස්හි ඔහුගේ හැම වැඩ කටයුත්තක් ම වේදනාව හා ශෝකය ය. රැයේදී පවා ඔහුගේ මනසට නිවාඩුවක් නැත; මෙය ද නිරර්ථකයක් ම ය. කා බී සෑහී, තම වැඩ ගැන සෑහීමට පත් වීමට වඩා හොඳක් මනුෂ්‍යයකුට නැත; එය ද දෙවියන්වහන්සේ අතින් ලැබෙන්නක් වග මම දකිමි. මන්ද උන්වහන්සේගෙන් තොර ව ආහාර පාන හා ප්‍රීතිය භුක්ති විඳිය හැක්කේ කවරකුට ද? දෙවියන්වහන්සේ තමන්ට ප්‍රිය මනුෂ්‍යයාට ප්‍රඥාව ද අවබෝධය ද ප්‍රීතිය ද දෙන සේක; තවද දෙවියන්වහන්සේට ප්‍රිය වූ අයට හිමි වන පිණිස වස්තුව රැස් කර ගබඩා කර තබන්නට පව්කරුවාට උන්වහන්සේ වැඩ සලසන සේක. මෙය ද නිරර්ථකයක් ය. සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.