දේශනාකරු 2:1-26

දේශනාකරු 2:1-26 SCV

“ඉතින් දැන් එන්න; යහපත් දේ කුමක් දැයි විමසා බලන පිණිස සතුට උපයෝගී කර ගෙන මම නුඹ සෝදිසි කරන්නෙමි” යි මම මට ම කියා ගතිමි; එහෙත් අහෝ, එය ද නිරර්ථකයක් ම ය. “සිනහව මෝඩ කමකි: සතුටෙන් වන ප්‍රයෝජනය මොකක් දැ?” යි මම කීවෙමි. මගේ සිත ප්‍රඥාවෙන් මට මග පෙන්වන අතරදී, මිදි යුෂවලින් මගේ ගත ප්‍රබෝධවත් කරන්නේ කෙලෙසක ද, මෝඩකම වැලඳගන්නේ කෙලෙසකදැයි මම හදවතින් සොයා විමසා බැලීමි. මට ඕනෑ කළේ, අහසින් යට මිනිසුන් ජීවත් වන ටික දවසේ ඔවුන් කරන්නට හොඳ මොනවා ද කියා දකින්නට ය. මම මහා ව්‍යාපෘති ක්‍රියාවට නැගුවෙමි; මම මගේ ම නිවෙස් ඉදිකර, මිදි වතු වැවුවෙමි; මම ගෙවතු ද උයන් ද තනා, ඒවායේ සකල වර්ගයේ පලතුරු ගස් සිටුවීමි. වැඩෙන එම ගස් අරඹට ජල සැපයුමට මම පොකුණු සෑදුවෙමි. මම දාසයින් හා දාසීන් මිලයට ගත්තෙමි; මගේ ගෙදර උපන් වෙනත් දාස දාසීන් ද මට අයත් ව සිටියහ. මට කලින් යෙරුසලමේ සිටි අන් කවරකුටත් වැඩියෙන් ගව හා එළු බැටළු රංචු ද මට සිටියේ ය. තවද මම රන් හා රිදී ද රජවරුන්ගේ හා ප්‍රාන්තවල වස්තුව ද ගොඩ ගසා ගත්තෙමි. මම ගායක ගායිකාවන් ද මනුෂ්‍ය-පුත්‍රයින්ගේ ප්‍රමෝදය වන බොහෝ අඟනන් ද පත් කර ගත්තෙමි. මට කලින් යෙරුසලමේ සිටි අන් කවරකුටත් වැඩියෙන් මම ශ්‍රේෂ්ඨත්වයෙන් අග පැමිණියෙමි. මේ හැම අතර තුර මගේ ප්‍රඥාව මා සමඟ විය. මගේ ඇස ආශා කළ කිසිවක් මවෙතින් මා වළකා ගත්තේ නැත; මා හදේ කිසි සතුටක් මා වැළැක් වූයේ නැත. මගේ හැම පරිශ්‍රමයකින් ම, මගේ හද ප්‍රමෝදවත් විය; මගේ මුළු පරිශ්‍රමයේ ශුභ පලය එයයි. එහෙත් මා දෑතින් කර ඇති දෑ හැම ද ඒ දෑ අත්කර ගන්නට මා දැරූ වෙහෙස ද කල්පනාවට ගත් කල, සැබවින් ම, ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය; හිරුට යට ප්‍රයෝජනයක් ඇත්තේ නැත. ඉන්පසු මම ප්‍රඥාව ද මෝහය හා අඥානකම ද ගැන සලකා බලන්නට සිත යොමු කළෙමි. දැනටමත් කර තිබෙන දේ හැර රජුට පසුව එන තැනැත්තාට කළ හැක්කේ මොනවා ද? අඥානකමට වඩා ප්‍රඥාව ප්‍රයෝජනවත් වග මම දුටුවෙමි; එය හරියට අන්ධකාරයට වඩා ආලෝකය ප්‍රයෝජනවත් වගේ ය. ප්‍රඥාවන්තයාට ඔහුගේ හිසේ ඇස් ඇත; අඥානයා අන්ධකාරයේ ඇවිදියි; එහෙත් මේ දෙදෙනා ම ගොදුරු වන්නේ එක ම ඉරණමකට වග මම වටහා ගතිමි. එකල මම “මා ගොදුරු වන්නේ ද අඥානයාගේ ඉරණමටයි; එසේ නම් අධි ප්‍රඥාවත් වීමෙන් අත්වන සෙත කුමක් දැ?” යි මට ම කියා ගතිමි. “එය ද නිරර්ථකයක් මැ” යි මගේ සිත තුළ කියා ගතිමි. මන්ද අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයා ද දිගට ම සිහි කිරීමක් නැත; ඔවුන් දෙදෙනා ම අමතක වී යන දවස් පැමිණේ. අහෝ! අඥානයා මෙන් ම ප්‍රඥාවන්තයා ද නැසී යන හැටි! හිරුට යටින් කරනු ලබන කාර්යයන් ශෝචනීය බැවින් මම ජීවිතයට ද්වේෂ කළෙමි. ඒ හැම දේ නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය. හිරු යට වීර්යයෙන් මා කළ හැම කටයුත්තක් ගැන ද්වේෂ කළෙමි. මන්ද මගේ අනුප්‍රාප්තිකයාට මා ඒවා තබා යා යුතු ව තිබේ. ඔහු ප්‍රඥාවන්තයකු වේ ද අඥානයකු වේ දැයි දන්නේ කවුරු ද? එසේ වුව ද හිරු යට මගේ වීර්යයෙන් හා ප්‍රඥාවෙන් කළ හැම කටයුත්තක ම පාලනය ඔහු සතු වන්නේ ය. මෙය ද නිරර්ථක ම ය. එබැවින් හිරු යට මා වීර්යයෙන් කළ හැම කටයුත්තක් ගැන මගේ හදවත කලකිරෙන්නට වන. මන්ද යම් කෙනකු තම ප්‍රඥාවෙන්, දැනුමෙන් හා සමත්කමින් කරන තමන් සන්තක කාර්යයන්හි උරුමය ඒ ගැන කිසි වැඩක් නො කළ කෙනකුට හැරපියා යෑමට සිදු වෙයි; මෙය ද නිරර්ථකයක් ය. මහ අවාසනාවක් ය. හිරු යටදී යම් කෙනකු වෙහෙස දරා මහත් පරිශ්‍රමයෙන් හා අධිෂ්ඨානයෙන් කරන කටයුතු සියල්ලට ඔහුට ලැබෙන්නේ මොනවා ද? ඔහුගේ සියලු දවස්හි ඔහුගේ හැම වැඩ කටයුත්තක් ම වේදනාව හා ශෝකය ය. රැයේදී පවා ඔහුගේ මනසට නිවාඩුවක් නැත; මෙය ද නිරර්ථකයක් ම ය. කා බී සෑහී, තම වැඩ ගැන සෑහීමට පත් වීමට වඩා හොඳක් මනුෂ්‍යයකුට නැත; එය ද දෙවියන්වහන්සේ අතින් ලැබෙන්නක් වග මම දකිමි. මන්ද උන්වහන්සේගෙන් තොර ව ආහාර පාන හා ප්‍රීතිය භුක්ති විඳිය හැක්කේ කවරකුට ද? දෙවියන්වහන්සේ තමන්ට ප්‍රිය මනුෂ්‍යයාට ප්‍රඥාව ද අවබෝධය ද ප්‍රීතිය ද දෙන සේක; තවද දෙවියන්වහන්සේට ප්‍රිය වූ අයට හිමි වන පිණිස වස්තුව රැස් කර ගබඩා කර තබන්නට පව්කරුවාට උන්වහන්සේ වැඩ සලසන සේක. මෙය ද නිරර්ථකයක් ය. සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.

මෙයට අදාළ වීඩියෝ

දේශනාකරු 2:1-26 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය