දේශනාකරු 11:1-10

දේශනාකරු 11:1-10 SCV

ඔබගේ රොටි ජලය මත හෙළන්න; මන්ද බොහෝ දවසකට පසු, ඔබට ඒවා යළි සම්භ වේ; හත් දෙනකුට නැති නම් අ‍ට දෙනකුට කොටස් බෙදා දෙන්න; මන්ද දේශය පිට, කවර විපත්තියක් පැමිණේදැයි ඔබ දන්නේ නැත. වලාකුළු ජලයෙන් බර ව තිබෙන කල, පොළොවට වැහි වහී; ගහක් දකුණට වැටුණත්, උතුරට වැටුණත් එය වැටුණු තැන ම වැටී තියේ. සුළඟ ගැන බලා සිටින්නන් වපුරන්නේ නැත; වලාකුළු ගැන බලා සිටින්නන් නෙළාගන්නේ නැත. සුළඟේ ගමන් මග ඔබ දන්නේ නැති සේ ම, මවකගේ ගර්භයේ කලලය සෑදෙන හැටි නො දන්නා සේ ම, සියල්ලේ මැවුම්කරුවාණන් වූ දෙවියන්වහන්සේගේ වැඩ ඔබට වටහා ගත නො හැක. ඔබගේ බීජ උදෑසන වපුරන්න; සවස ද ඔබේ දෑත එම කාරියෙන් නො වළකා ගන්න. මන්ද සඵල වන්නේ ඒවා ද මේවා ද නැති නම් ඒ දෙක ම එක සේ හරියා ද කියා ඔබ දන්නේ නැත. ආලෝකය මිහිරි ය; හිරු දැකීම ඇස්වලට ප්‍රසන්න ය. එබැවින් කෙනකු ජීවත් වන බොහෝ වූ අවුරුදුවල ඔහු ඒ මුළු කාලය ම ප්‍රීතියෙන් ගත කරත්වා; අන්ධකාරයේ දවස් ගැන ඔහු සිත් යොමු කරත්වා; මන්ද ඒවා ද බොහෝ වනු ඇත. පැමිණෙන හැම දෙයක් ම නිරර්ථක ය. එම්බා යෞවනය, ඔබේ යෞවනයෙහි ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්හි දී ඔබේ හදවත ඔබට ප්‍රීතිය ගෙන දේවා. ඔබේ හදට රිසි මගෙහි, ඔබේ ඇසට ප්‍රිය පරිදි කටයුතු කරන්න; එහෙත් දෙවියන්වහන්සේ මේ සියල්ලෙහි දී ඔබ විනිශ්චයට ගෙනෙන වග මතක තබා ගන්න. එබැවින් කනස්සල්ල ඔබේ හදින් පලවා හැර, ඔබේ ගතේ කරදර ඉවත හෙළන්න; මන්ද යෞවනයත්, ශක්තියත් නිරර්ථක ය.

මෙයට අදාළ වීඩියෝ

දේශනාකරු 11:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය