ද්විතීය 9:13-29

ද්විතීය 9:13-29 SCV

ස්වාමින්වහන්සේ යළි මා අමතමින්, “මා මේ ජනයා දැක්කා. සැබවින් ම ඔවුන් මහ මුරණ්ඩු ජනතාවක්. ඔවුන් විනාශ කර, අහස යටින් ඔවුන්ගේ නම මකා දමන්නට මට ඉඩ හරින්න. ඔවුනට වඩා බලවත්, ගණනින් වැඩි ජාතියක් මම ඔබෙන් ඇති කරන්නෙමි” යි කී සේක. එබැවින් මා හැරී කන්දෙන් බසින්නට වුණා. කන්ද ගිනි ඇවිළෙමින් තිබුණා. ගිවිසුමේ ගල් පුවරු දෙක මගේ දෑතේ තිබුණා. මා බැලූ කල, මා දුටුවේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව, ඔබ පව් කර තිබූ හැටියි. ඔබ වස්සකුගේ හැඩයෙන් යුත් වාත්තු පිළිමයක් ඔබට තනා ගෙන, ස්වාමින්වහන්සේ ඔබට ආඥා කර තිබූ මාර්ගයෙන් ඉක්මනින් ම ඉවත හැරී ගොස් තිබුණා. එබැවින් මා, මගේ දෑතේ වූ ගල් පුවරු දෙක ඔබේ ඇස් ඉදිරිපිටදී බිඳී යන සේ දමා ගැසුවා. ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කර, එමඟින් උන්වහන්සේ කුපිත කරවා, ඔබ කර තිබූ සියලු පාප නිසා, මා යළිත් වරක් දහවල හතළිහක් හා රෑ හතළිහක් රොටි නො කා, වතුර නො බී, ස්වාමින්වහන්සේ අබියස මුණින් වැටී සිටියා. මා භය වී සිටියේ, නුඹලා වනසා දමන තරමට උන්වහන්සේ නුඹලා සමඟ උරණ ව සිටි බැවින්, ස්වාමින්වහන්සේගේ කෝපයත්, උදහසත් ගැනයි. එහෙත්, ස්වාමින්වහන්සේ නැවතත් මට සවන් දුන්නා. ස්වාමින්වහන්සේ ආරොන් වනසා දමන තරමට ඔහු සමඟ ද උරණ ව සිටියා. එහෙත් ඒ අවස්ථාවේ මා ආරොන් උදෙසාත් යාච්ඤා කළා. ඉන්පසු මා ඔබේ ඒ පාපයේ පිළිමය වූ ඔබ සාදා තිබූ වස්සා ගෙන, ගින්නෙහි ලා පිලිස්සුවා. පසුව එය තළා, දූලි සේ සිහින් කුඩු වන තුරු අඹරා, කන්දෙන් ගලා බස්නා දිය පහරට ඒ දූලි විසිකළා. නුඹලා තබේරා, මස්සා හා කිබ්‍රොත්-හත්තාවා යන තැන්වලදීත් ස්වාමින්වහන්සේ කෝප කළා. ස්වාමින්වහන්සේ කාදෙෂ්-බර්නේය සිට ඔබ පිටත් කර හරිමින්, “යන්න; මා ඔබට දී ඇති දේශය අත්පත් කර ගන්නැ” යි පැවසූ කල්හි ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ අණට එරෙහිව කැරලි ගැසූ ඔබ, උන්වහන්සේ කෙරේ විශ්වාසය තැබුවේවත්, උන්වහන්සේට කීකරු වුණේවත් නැහැ. මා ඔබ දැන සිටි දවසේ පටන් නුඹලා ස්වාමින්වහන්සේට විරුද්ධ කැරලිකාරීන්. දහවල හතළිහක් හා රෑ හතළිහක් ස්වාමින්වහන්සේ අබියස මා මුණින් තලා වැතිර සිටියේ, නුඹලා විනාශ කරන්නෙමැයි ස්වාමින්වහන්සේ පවසා තිබූ නිසයි. මම ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබේ ශ්‍රේෂ්ඨ බලයෙන් ඔබ මුදා ගත්, බලවත් හස්තයෙන් ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ උරුමය වූ ඔබේ ජනතාව විනාශ නො කරනු මැනවි. ඔබගේ සේවකයින් වූ ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද සිහි කළ මැනවි. මේ ජනයාගේ මුරණ්ඩුකමත්, ඔවුන්ගේ දුෂ්ටකමත්, ඔවුන්ගේ පාපයත් නො තැකුව මැනවි. නැතහොත්, ‘ස්වාමින්වහන්සේ ඔවුනට පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන යෑමට උන්වහන්සේ අපොහොසත් වූ නිසාත්, උන්වහන්සේ ඔවුනට වෛර කළ නිසාත්, පාළුකරයේ ඔවුන් මරා දමන පිණිස, උන්වහන්සේ මේ දේශයෙන් පිටතට ඔවුන් ගෙන ගිය සේකැ’ යි ඔබවහන්සේ විසින් අප පිටතට ගෙන එනු ලැබූ දේශ වාසීන් කියනු ඇත. එනමුත් මොවුහු ඔබගේ ම ජනතාව ය; ඔබගේ මහත් බලයෙන් ද දිගු කළ ඔබේ බාහුවෙන් ද යුතු ව ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබගේ ම උරුමය යැ” යි පැවසීමි.