ද්විතීය 9:1-12

ද්විතීය 9:1-12 SCV

එම්බා ඉශ්‍රායෙල්, මේ අසනු! අහස උසට නැගුණු ප්‍රාකාර සහිත නුවර ඇති, ඔබට වඩා බලවත්, ඔබට වඩා සවිමත් ජාතීන් අත්පත් කර ගනු ලබන පිණිස, ඔබ දැන් යොර්දාන් ගඟ තරණය කරන්නට සූදානමින්. උස, එමෙන් ම ශක්තිමත් මිනිසුන් වන ඒ ජනයා අනාක්වරු ය. ඔවුන් ගැන ඔබ දනී: “අනාක් පරපුරේ අයට එරෙහිව නැගී සිටිය හැක්කේ කවරකුට ද?” යන කියමන ද ඔබ අසා තිබේ. එහෙත් විනාශ කරන ගින්නක් සේ, ඔබට පෙරටුව එතෙරට යන තැනැත්තාණන්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වග අද ඔබ දැනගත යුතුයි. උන්වහන්සේ ඔවුන් නැති කර දමන සේක. ඔබ ඉදිරියේ උන්වහන්සේ ඔවුන් යටත් කරන සේක. එවිට ඔබ, ඔවුන් පලවා හැර, ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, වහා ඔවුන් සමූලඝාතන කර දමනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පලවා හැර දැමූ පසු, “මේ දේශය උරුම කර ගන්නා පිණිස ස්වාමින්වහන්සේ මා මෙහි ගෙන ආවේ, මගේ ධර්මිෂ්ඨකම නිසා යැ” යි ඔබේ හද තුළ කියා නො ගන්න. ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පලවා හරිනු ලබන්නේ එනිසා නො ව, ඒ ජාතීන්ගේ දුෂ්ටකම් නිසා ය. ඔවුන්ගේ දේශය ඔබ අත්කර ගනු ඇත්තේ, ඔබේ ධර්මිෂ්ඨකම නිසාවත්, ඔබේ අවංකත්වය නිසාවත් නො වේ. මේ ජාතීන්ගේ දුෂ්ටකම් නිසා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් පන්නා දමන්නේ, ඔබේ ආදි පියවරුන් වන ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද උන්වහන්සේ දිවුළ වචනය, ඉෂ්ට කරන පිණිස ය. එබැවින් වටහා ගන්න! ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ සාරවත් දේශය උරුම කර ගැනීමට ඔබට දෙන්නේ, ඔබේ ධර්මිෂ්ඨකම නිසා නො වේ. මන්ද නුඹලා මහ මුරණ්ඩු ජනතාවකි. පාළුකරයේදී ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කුපිත කර වූ අයුරු කිසි දින අමතක නො කර, මතක තබා ගන්න. ඊජිප්තුවෙන් නික්මුණු දා සිට මෙතැනට ළඟා වන තෙක් ම, ඔබ ස්වාමින්වහන්සේට එරෙහිව හිතුවක්කාරකම් කර තිබේ. හොරේබ්හි දී ඔබ, ස්වාමින්වහන්සේගේ උදහස ඇවිළ වූයේ ඔබ විනාශ කර දැමීමට තරම් උන්වහන්සේ උරණ කරවමිනි. ගල් පුවරු ලබා ගැනීමට, ස්වාමින්වහන්සේ ඔබ සමඟ කර තිබූ ගිවිසුමේ ගල් පුවරු ලබා ගන්නට, මා කන්දට නැගුණු කල, දහවල හතළිහක් හා රෑ හතළිහක් එහි ගත කළෙමි. එහිදී මා රොටි කෑවේවත්, වතුර බීවේවත් නැත. දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු දෙක, ස්වාමින්වහන්සේ මට දුන් සේක. ජනයා එක් රැස් වූ දවසේ කන්ද පිට ගිනි මැද සිට, ස්වාමින්වහන්සේ ඔබට ප්‍රකාශ කරන ලද සියලු ආඥා ඒවායේ තිබුණි. ඒ දහවල හතළිහත්, රෑ හතළිහත් ගෙවුණු පසු, ගිවිසුමේ පුවරු වන ගල් පුවරු දෙක ස්වාමින්වහන්සේ මට දුන් සේක. ඉන්පසු මා ඇමතූ ස්වාමින්වහන්සේ, “නැගිට වහා මෙතැනින් පහළ බැස යන්න. ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආ ඔබේ ජනයා අන්න! දූෂ්‍ය වෙලා. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් මේ විගසින් ඉවත හැරී, ඔවුන් තමන්ට වාත්තු පිළිමයක් තනාගෙනැ” යි කී සේක.