ද්විතීය 7:12-26

ද්විතීය 7:12-26 SCV

ඔබ මෙම නියමයන් වෙත අවධානය යොමා, ඒවා පිළිපැදීමට වග බලා ගන්නේ නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ ආදි පියවරුනට දිවුළ ලෙස ඔබ හා ඇති ස්වකීය නොමියෙන ප්‍රේමයේ ගිවිසුම සුරකින සේක. උන්වහන්සේ ඔබට ප්‍රේම කරනු ඇත; ඔබට ආශිර්වාද කරනු ඇත; ගණනින් ඔබ වැඩි කරනු ඇත. ඔබට දෙන්නෙමැයි ඔබේ ආදි පියවරුන්ට උන්වහන්සේ දිවුළ දේශයේදී ඔබගේ දරු පලවලට ද ඔබේ ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් යන ඔබේ දේශයේ අස්වනුවලට ද ඔබේ ගව හා එළු, බැටළු රංචුවල පැටවුනට ද උන්වහන්සේ ආශිර්වාද කරන සේක. අන් කවර ජනතාවකටත් වඩා ඔබ ආශිර්වාද ලබනු ඇත. ඔබ, ස්ත්‍රීන් හා පුරුෂයින් අතරේ පමණක් නො ව, ඔබගේ සත්ව රංචු අතරේ ද වඳ එකකු නො වනු ඇත. ස්වාමින්වහන්සේ සියලු රෝග ඔබ වෙතින් දුරුව තබන සේක. ඊජිප්තුවේදී ඔබ දැන සිටි දරුණු රෝග කිසිවක් උන්වහන්සේ ඔබ වෙත පමුණුවන්නේ නැත. එහෙත් ඔබට වෛර කරන සියල්ලන් වෙත උන්වහන්සේ එම රෝග පමුණු වන සේක. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතට හසුකර දෙන සියලු ජනයින් ඔබ විනාශ කර දැමිය යුතු ය. ඔවුනට අනුකම්පාවක් නො දක්වන්න. ඔවුන්ගේ දෙවි දේවතාවුනට සේවය නො කරන්න. මන්ද, එය ඔබට මර උගුලක් වනු ඇති බැවිනි. “මේ ජාතීන් අපට වඩා බලවත්: කෙසේ ද අප ඔවුන් පන්නා දමන්නේ?” යි ඔබ සිතිය හැකි ය. එහෙත්, ඔවුනට භය නො වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පාරාවෝටත්, මුළු ඊජිප්තුවටත් කළ දේ හොඳට සිහි කරන්න. එතැනින් පිටතට ඔබ ගෙන ඒමේදී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පෑ දැඩි පරීක්ෂණ, හාස්කම් ලකුණු හා අරුම පුදුම ද බලගතු හස්තය හා දිගු කළ බාහුව ද ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවහ. ඔබ දැන් බය වන සියලු ජනයින්ටත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ දේ ම කරන සේක. එපමණක් ද නො වේ, ඔබෙන් සැඟවී බේරී සිටින්නවුන් පවා විනාශ වී යන තෙක්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුන් අතරට දෙබරුන් යවන සේක. ඔබ මධ්‍යයේ සිටින ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උත්තම, භයංකර දෙවියන්වහන්සේ වන බැවින් ඒ ජාතීනට භය නො වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ටිකින් ටික ඔබ ඉදිරියෙන් ඒ ජාතීන් පන්නා දමනු ඇත. ඔවුන් සියල්ලන් එක්වර ම නෙරපාලන්නට ඔබට ඉඩ නො ලැබේ. එසේ කළහොත් වන මෘගයින් ඔබ වටා බහුල වනු ඇත. එහෙත් ඒ ජාතීන් මුළුමනින් විනාශ වී යන තෙක්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මහත් වියවුලක ඔවුන් හෙළමින්, ඔබේ අතට ඔවුන් හසුකර දෙනු ඇත. උන්වහන්සේ ඔවුන්ගේ රජවරුන් ඔබේ අතට බාර දුන් කල, ඔබ ඔවුන්ගේ නාම අහස් තලය යටින් අතු ගා දමනු ඇත. ඔබට එරෙහිව නැගී සිටීමට කිසිවකුටත් නො හැකි වෙයි. ඔබ ඔවුන් වනසා දමනු ඇත. ඔවුන්ගේ දේවතා පිළිම ගින්නේ පිලිස්සිය යුතු ය. ඒවායේ ඇති රන් රිදීවලට ආශා නො කරන්න. ඒවා ඔබේ ප්‍රයෝජනයට නො ගන්න; ගතහොත් එය ඔබට මර උගුලක් වනු ඇත. මන්ද එය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පිළිකුලකි. එවැනි පිළිකුල් දෑ ඔබේ නිවසට නො ගෙනෙන්න. ගෙනාවහොත් ඔබ ද ඒවා හා සමාන ව විනාශයට වෙන් කෙරෙනු ඇත. ඒවා විනාශයට වෙන් කරන ලද දෑ බැවින්, සපුරාම ඒවා පිළිකුල් කරන්න; පිළිකෙව් කරන්න.