ද්විතීය 7:1-6

ද්විතීය 7:1-6 SCV

හිමි කර ගැනීමට ඔබ පිවිසෙන දේශයට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගෙනවුත්, ඔබට වඩා විශාලවූත්, බලවත් වූත් ජාතීන් හතක් වන හිත්තිවරුන් ද ගිර්ගාෂිවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් හා යෙබූසිවරුන් ද යන නොයෙක් ජාතීන් ඔබ ඉදිරිපිටින් පන්නා දමන කල, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ අතට ඔවුන් හසුකර දීමෙන්, ඔබ ඔවුන් පරාජය කළ විට, ඔබ ඔවුන් මුළුමනින් ම විනාශ කර දැමිය යුතු ය. ඔවුන් හා කිසිදු ගිවිසුමක් කර නො ගන්න. ඔවුන්ට කිසි දයාවක් නො දක්වන්න. ඔවුන් හා ආවාහ විවාහ කර නො ගන්න. ඔබගේ දූවරුන් ඔවුන්ගේ පුතුන්ට දීම හෝ ඔවුන්ගේ දූවරුන් ඔබගේ පුතුන්ට ගෙන ඒම නො කරන්න. මන්ද අන් දෙවි දේවතාවුනට මෙහෙ කරන පිණිස ඔවුන්, ඔබගේ පුතුන් මා අනුගමන කිරීමෙන් ඉවත හරවනු ඇත. එවිට ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී, වහා ඔබ වනසා දමනු ඇත. ඔබ ඔවුන්ට කළ යුත්තේ ඔවුන්ගේ පූජාසන කඩා දැමීම; ඔවුන්ගේ පූජනීය ගල් කුලුනු බිඳ දැමීම; අෂේරා කණු කපා දැමීම හා ඔවුන්ගේ දේව පිළිම ගින්නේ පිලිස්සීමයි. මන්ද ඔබ, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ වූ ජනතාවක් ය. ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මේ මිහි පිට වෙසෙන සියලු ජනතාවන් අතරින් තමන්වහන්සේගේ ජනතාවක් වන පිණිස, උන්වහන්සේට අනර්ඝ වස්තුවක් වන පිණිස තෝරා ගෙන ඇත්තේ ඔබ ය.