ද්විතීය 5:23-33

ද්විතීය 5:23-33 SCV

කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් උන්වහන්සේගේ කටහඬ ඔබට ඇසුණු කල, ඔබේ ගෝත්‍ර වංශ ප්‍රධානීන් සියලු දෙනා ද ඔබේ වැඩිහිටියෝ ද මා වෙත ආහ. අවුත්, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය මහිමශ්‍රීයත්, ස්වකීය තේජශ්‍රීයත් අපට පෙන් වූ සේක. උන්වහන්සේගේ කටහඬ, ගින්න වෙතින් අපි ඇසීමු. දෙවියන්වහන්සේ මිනිසකු සමඟ කතා කළ පසු පවා, ඔහුට ජීවත් විය හැකි බව අද අපි දුටුවෙමු. එහෙත් දැන් අප මැරී යන්නේ කුමට ද? මේ මහ ගින්න අප දවා දමනු ඇත. අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේගේ කටහඬ තවදුරටත් ඇසුවහොත්, අප මියෙනු ඇත. ගින්න මැදින් කතා කළ ජීවමාන දෙවියන්වහන්සේගේ කටහඬ අප ඇසූ පරිද්දෙන්, ඒ අසා කවර කලෙක හෝ ජීවත් වූ මනුෂ්‍යයා කවුරු ද? ළඟට ගොස්, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන සියල්ල අසා ගන්න; ඉන්පසු අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පැවසූ දෑ, අපට කියන්න. අපි ඒ අසා කීකරු වන්නෙමු” යි කීහ. ඔබ මට කළ කතාව ස්වාමින්වහන්සේට ඇසිණි. මා ඇමතූ ස්වාමින්වහන්සේ, “මේ ජනයා ඔබට කී දෑ මට ඇසිණි. ඔවුන් කී හැම දෙයක් ම හොඳ ය. ඔවුන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් සදහට සෙත සැලසෙන පිණිස, නිරතුරු ව ඔවුන්ගේ හදවත් මට භය පක්ෂපාතී ව, මගේ සියලු ආඥා පිළිපැදීමට ද නැඹුරු වූවොත් යෙහෙක! “යන්න, ඔවුන්ගේ කූඩාරම්වලට ආපසු යන්නැයි ඔවුන්ට කියන්න. එහෙත් ඔබ, මා සමඟ මෙහි නවතින්න; එවිට මගේ සියලු ආඥා ද නියෝග ද නියමයන් ද මම ඔබට දෙන්නෙමි. මා ඔවුන්ට උරුම කොට දෙන දේශයේදී පිළිපදිනු පිණිස, ඔබ ඔවුන්ට ඒවා ඉගැන්විය යුතු යැ” යි පැවසූ සේක. එනිසා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආඥා කළ දෑ, පිළිපැදීමට සැලකිලිමත් වන්න. ඉන් දකුණට හෝ වමට හෝ නො හැරෙන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ මුළු මාර්ගයේ ගමන් කරන්න. එවිට, ඔබ උරුම කර ගන්නා දේශයේදී ඔබට ජීවනයත්, සඵලත්වයත්, දීර්ඝායුත් ලැබෙනු ඇත.