ද්විතීය 4:16-30
ද්විතීය 4:16-30 SCV
මොන යම් හැඩයක ප්‍රතිරූපයක් හෝ පිළිමයක් සාදා ගැනීමෙන් ඔබ දූෂ්‍ය නො වන පිණිසයි; පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ හැඩරුවෙහි සමානත්වයෙන් හෝ පොළොවේ යම් සතකුගේ නැතහොත් අහසේ පියාසරන පක්ෂියකුගේ සමානත්වයෙන් හෝ පොළොවේ බඩ ගා ඇදෙන උරගයකුගේ නැතහොත් පහළ ජලයේ සිටින මත්ස්‍යයකුගේ සමානත්වයෙන් හෝ රූපකායක් නො සාදා ගන්නා පිණිස ය. අහස දෙස ඉහළ බැලූ කල, හිරු, සඳු, තරු යන අහස් වස්තු පෙළ දැක, ඒවාට නමස්කාර කරන්නට සහ සේවය කරන්නට නො පෙලඹෙන්න; ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒවා නියම කර ඇත්තේ, අහසින් යට සිටින සියලු ජාතීන් උදෙසා ය. එසේ වුව ද ඔබ, අද දවසේ සිටින පරිදි, ස්වකීය උරුම ජනතාව වන පිණිස ස්වාමින්වහන්සේ තෝරා ගෙන, යකඩ ගිනි උදුනක් වැනි ඊජිප්තුවෙන් පිටතට ගෙනා සේක. ඔබ නිසා ස්වාමින්වහන්සේ මා සමඟ උරණ වූ සේක්, මා යොර්දානෙන් එතෙරට යන්නේවත්, ඔබගේ උරුමය වශයෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන ඒ සාරවත් දේශයට මා ඇතුළු වන්නේවත් නැතැයි දිවුරා ශපථ කළ සේක. මම මේ දේශයෙහි ම මියෙන්නෙමි. මම යොර්දානෙන් එතෙරට නො යන්නෙමි. එනමුදු ඔබ එයින් එතෙර වන්නටත්, ඒ සාරවත් දේශය හිමි කර ගන්නටත් සූදානමිනි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ කළ ගිවිසුම, අමතක නො කරන්නට පරෙස්සම් වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට තහනම් කළ පරිදි කිසි ම දෙයක හැඩහුරුකමින් දේව පිළිම ඔබට සාදා නො ගන්න. මන්ද ස්වාමින්වහන්සේ වන ඔබේ දෙවියන්වහන්සේ දවාලන ගින්නකි; ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය. නුඹලා දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලැබ, දිගු කලක් දේශයෙහි වාසය කළ පසු, කිසියම් ආකාරයක පිළිම රූප සාදා ගැනීමෙන් දූෂ්‍ය වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකමක් කරමින්, උන්වහන්සේගේ කෝපය ඇවුළුවහොත්, අත්කර ගැනීමට යොර්දානෙන් එතෙරට ඔබ යන දේශයෙන් ඔබ වහා වැනසී යන පිණිස, ඔබට එරෙහිව සාක්ෂි දෙන්නට මේ අද දවසේ අහසටත්, පොළොවටත් මම හඬ ගසමි. එවිට ඔබ වැඩි කල් එහි වෙසෙන්නේ නැත; මුළුමනින් ම විනාශ ව යනු ඇත. ස්වාමින්වහන්සේ ජාතීන් අතරේ ඔබ විසුරුවා හරිනු ඇත. ස්වාමින්වහන්සේ විසින් එසේ ඔබ පලවා හරින ලද ජාතීන් අතර ජීවත් ව ඉතිරි ව සිටිනු ඇත්තේ ඔබෙන් ස්වල්ප දෙනකු පමණි. එහිදී ඔබ මිනිස් අතින් සෑදූ දෙවිවරුනට, එනම් දකින්නට, අසන්නට, වළඳන්නට හෝ ගඳ-සුවඳ විඳින්නට බැරි, දැවයෙන් හෝ ගලින් හෝ තැනූ දෙවි දේවතාවුනට නමස්කාර කරනු ඇත. එහෙත් එහිදී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයා ගියහොත්, ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද සැබවින් ම උන්වහන්සේ සෙව්වහොත්, ඔබට උන්වහන්සේ සම්භ වනු ඇත. ඔබ විපතට පත් ව, ඒ හැම දේ ඔබට සිදු වූ පසු, කලක් ගත වී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු අවුත්, උන්වහන්සේට කීකරු ව සිටිනු ඇත.

