ද්විතීය 4:15-49

ද්විතීය 4:15-49 SCV

හොරේබ්හි ගින්නේ සිට ස්වාමින්වහන්සේ ඔබ ඇමතූ දවසේ, කිසි ම ආකාරයක රූපයක් ඔබ දුටුවේ නෑ. එබැවින් ඒ ගැන පරෙස්සම් වීමට වග බලා ගත යුත්තේ, මොන යම් හැඩයක ප්‍රතිරූපයක් හෝ පිළිමයක් සාදා ගැනීමෙන් ඔබ දූෂ්‍ය නො වන පිණිසයි; පුරුෂයකුගේ හෝ ස්ත්‍රියකගේ හෝ හැඩරුවෙහි සමානත්වයෙන් හෝ පොළොවේ යම් සතකුගේ නැතහොත් අහසේ පියාසරන පක්ෂියකුගේ සමානත්වයෙන් හෝ පොළොවේ බඩ ගා ඇදෙන උරගයකුගේ නැතහොත් පහළ ජලයේ සිටින මත්ස්‍යයකුගේ සමානත්වයෙන් හෝ රූපකායක් නො සාදා ගන්නා පිණිස ය. අහස දෙස ඉහළ බැලූ කල, හිරු, සඳු, තරු යන අහස් වස්තු පෙළ දැක, ඒවාට නමස්කාර කරන්නට සහ සේවය කරන්නට නො පෙලඹෙන්න; ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒවා නියම කර ඇත්තේ, අහසින් යට සිටින සියලු ජාතීන් උදෙසා ය. එසේ වුව ද ඔබ, අද දවසේ සිටින පරිදි, ස්වකීය උරුම ජනතාව වන පිණිස ස්වාමින්වහන්සේ තෝරා ගෙන, යකඩ ගිනි උදුනක් වැනි ඊජිප්තුවෙන් පිටතට ගෙනා සේක. ඔබ නිසා ස්වාමින්වහන්සේ මා සමඟ උරණ වූ සේක්, මා යොර්දානෙන් එතෙරට යන්නේවත්, ඔබගේ උරුමය වශයෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන ඒ සාරවත් දේශයට මා ඇතුළු වන්නේවත් නැතැයි දිවුරා ශපථ කළ සේක. මම මේ දේශයෙහි ම මියෙන්නෙමි. මම යොර්දානෙන් එතෙරට නො යන්නෙමි. එනමුදු ඔබ එයින් එතෙර වන්නටත්, ඒ සාරවත් දේශය හිමි කර ගන්නටත් සූදානමිනි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ කළ ගිවිසුම, අමතක නො කරන්නට පරෙස්සම් වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට තහනම් කළ පරිදි කිසි ම දෙයක හැඩහුරුකමින් දේව පිළිම ඔබට සාදා නො ගන්න. මන්ද ස්වාමින්වහන්සේ වන ඔබේ දෙවියන්වහන්සේ දවාලන ගින්නකි; ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ ය. නුඹලා දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ලැබ, දිගු කලක් දේශයෙහි වාසය කළ පසු, කිසියම් ආකාරයක පිළිම රූප සාදා ගැනීමෙන් දූෂ්‍ය වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකමක් කරමින්, උන්වහන්සේගේ කෝපය ඇවුළුවහොත්, අත්කර ගැනීමට යොර්දානෙන් එතෙරට ඔබ යන දේශයෙන් ඔබ වහා වැනසී යන පිණිස, ඔබට එරෙහිව සාක්ෂි දෙන්නට මේ අද දවසේ අහසටත්, පොළොවටත් මම හඬ ගසමි. එවිට ඔබ වැඩි කල් එහි වෙසෙන්නේ නැත; මුළුමනින් ම විනාශ ව යනු ඇත. ස්වාමින්වහන්සේ ජාතීන් අතරේ ඔබ විසුරුවා හරිනු ඇත. ස්වාමින්වහන්සේ විසින් එසේ ඔබ පලවා හරින ලද ජාතීන් අතර ජීවත් ව ඉතිරි ව සිටිනු ඇත්තේ ඔබෙන් ස්වල්ප දෙනකු පමණි. එහිදී ඔබ මිනිස් අතින් සෑදූ දෙවිවරුනට, එනම් දකින්නට, අසන්නට, වළඳන්නට හෝ ගඳ-සුවඳ විඳින්නට බැරි, දැවයෙන් හෝ ගලින් හෝ තැනූ දෙවි දේවතාවුනට නමස්කාර කරනු ඇත. එහෙත් එහිදී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයා ගියහොත්, ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද සැබවින් ම උන්වහන්සේ සෙව්වහොත්, ඔබට උන්වහන්සේ සම්භ වනු ඇත. ඔබ විපතට පත් ව, ඒ හැම දේ ඔබට සිදු වූ පසු, කලක් ගත වී ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ආපසු අවුත්, උන්වහන්සේට කීකරු ව සිටිනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දයාවෙන් පූර්ණ දෙවියන්වහන්සේ ය. උන්වහන්සේ ඔබ අත්හැර දමන්නේවත්, ඔබ විනාශ කර දමන්නේවත් නැත. උන්වහන්සේ ඔබේ ආදි පියවරුනට දිවුරා ශපථ කළ ගිවිසුම, අමතක කරන්නේ ද නැත. ස්වාමින්වහන්සේ ඔබේ කාලයට බොහෝ ඉහත, පුරාණ දවස්හි දෙවියන්වහන්සේ මිහි පිට මිනිසා මැවූ දා පටන්, අහසේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා මේ සා ශ්‍රේෂ්ඨ වූ අන් දෙයක් කෙදිනකවත් සිදු වී ද; ඒ හා සමාන දෙයක් සිදු වී යැයි කෙදිනකවත් අසන්නට ලැබුණේදැයි අසා බලන්න. දෙවියන්වහන්සේ ගින්නේ සිට කතා කළ විට ඔබට අසන්නට ලැබුණු පරිදි, අන් කවර ජනතාවක් උන්වහන්සේගේ කටහඬ ඇසූ පසුත්, ජීවත් ව සිටිත් ද? පරීක්ෂා මගින් ද අනුහස් ලකුණු හා හාස්කම් මගින් ද යුද්ධයෙන් ද බලවත් හස්තයකින් හා දිගු කළ බාහුවකින් ද උදාර වූත්, භයානක වූත් ක්‍රියා මගින් ද ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ ඔබ උදෙසා කළ සියලු දෑ හා සමාන දෙයක් මගින් ජාතියක් වෙතින් ජාතියක් තමන්ට ම අත්කර ගන්නට කවර දෙවියකු කවරදා හෝ උත්සාහ කර ඇද්ද? මේ දෑ නුඹලාට පෙන්වන ලද්දේ ස්වාමින්වහන්සේ, දෙවියන්වහන්සේ වග නුඹලා දැනගන්නා පිණිස ය. උන්වහන්සේ හැර, වෙන අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. නුඹලා හික්මවන පිණිස උන්වහන්සේ ස්වර්ගයේ සිට නුඹලාට ස්වකීය කටහඬ ඇසෙන්නට සැලසූ සේක; පොළොවේදී උන්වහන්සේ ස්වකීය මහා ගින්න නුඹලාට පෙන් වූ සේක. ඒ ගින්නේ සිට ආ උන්වහන්සේගේ වචන නුඹලා ඇසූහ. මන්ද ඔබගේ ආදි පියවරුනට ප්‍රේම කළ උන්වහන්සේ ඔවුන්ගෙන් පසු, ඔවුන්ගෙන් පැවත එන්නන් තෝරාගත් සේක. උන්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආවේ ස්වකීය අභිමුඛය ඇති ව, ස්වකීය මහා ශක්තියෙනි. එසේ කළේ ඔබට වඩා බලයෙන් හා ශක්තියෙන් යුතු ජාතීන් ඔබ ඉදිරිපිටින් පන්නා දමන පිණිසත්, අද දවසේ තිබෙන පරිදි ඔවුන්ගේ දේශයට ඔබ ගෙන අවුත්, එය නුඹලාට උරුමයක් කර දෙන පිණිසත් ය. එබැවින් ඉහළ ස්වර්ගයේත්, පහළ පොළොවේත් ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ම වග, අන් කෙනකු නැති වග අද දවසේ ඒත්තු ගෙන, එය සිතේ ධාරණය කර ගන්න. ඔබගේ ද ඔබගෙන් පසු ඔබේ දරු පරපුරේ ද ශුභ සිද්ධිය පිණිසත්, ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ සදහට ම ඔබට දෙන දේශයේ දිගු කල් ඔබ ජීවත් වන පිණිසත්, අද දවසේ මා ඔබට දෙන උන්වහන්සේගේ මෙම නියෝග හා ආඥා පිළිපදින්න. ඉන්පසු මෝසෙස්, යොර්දානෙන් එතෙර නැගෙනහිර දෙසට නගර තුනක් වෙන් කළේ ය. එසේ කළේ, යමෙක් කලින් සිතා මතා ද්වේෂ සහගත ව නො ව, අත්වැරැද්දකින් තම අසල්වැසියකු මැරුවහොත්, එවැනි මිනී මරුවකුට සැඟවී පලා යා හැකි වන පිණිස ය. එම නගරවලින් එකකට පලා ගොස්, තම දිවි රැක ගැනීමට ඔහුට පුළුවන. රූබෙන්වරුන් සඳහා පාළුකර තැන්නේ පිහිටි බෙසෙර්, ගාද්වරුන් සඳහා ගිලියාද්හි පිහිටි රාමොත් හා මනස්සේවරුන් සඳහා බාෂාන්හි පිහිටි ගෝලාන් එම අභය නගර වේ. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන් හමුවේ තැබූ ව්‍යවස්ථාව මෙසේ ය. ඉශ්‍රායෙල්වරුනට මෝසෙස් දුන් පනත් ද නියෝග ද නියමයන් ද මෙසේ වෙයි; ඊජිප්තුවෙන් පිටතට පැමිණි ඔවුහු, ඒ වන විට යොර්දානයට නැගෙනහිරින් බෙත්-පෙයෝර් අසල තැන්නට පැමිණ සිටියහ. එය පිහිටියේ අමෝරිවරුන්ගේ රජු වූ හෙෂ්බෝන්හි රජකම් කළ සීහොන්ගේ දේශයේ ය. මෝසෙස් හා ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ සිට පිටත් ව එද්දී, ඔවුන් අතින් සීහොන් පරාජයට පත් විය. ඔහුගේ දේශයත්, බාෂාන්හි රජු වූ ඕග්ගේ දේශයත් යන වශයෙන් යොර්දානයට නැගෙනහිරින් වූ අමෝරි රජුන් දෙදෙනාගේ දේශ, ඔවුහු අල්ලා ගත්හ. මෙම දේශය, අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් සිරියොන් හෙවත් හෙර්මොන් කන්ද දක්වා දිවෙයි. පිස්ගා කඳු බෑවුම පහළින් පිහිටි අරාබා මුහුද තෙක් යොර්දාන් ගඟට නැගෙනහිරින් වූ මුළු අරාබා නිම්නය ද ඊට අයත් වේ.