ද්විතීය 4:1-14

ද්විතීය 4:1-14 SCV

එම්බා ඉශ්‍රායෙල්, මා ඔබට උගන්වන්නට යන නියෝග හා නියමයන්වලට දැන් සවන් දෙන්න; ඔබ ජීවත් වන පිණිසත්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට පිවිස, එය අත්කර ගන්නා පිණිසත්, ඒවා අනුගමන කරන්න. මා ඔබට අණ කරන දෑට කිසිවක් එකතු කරන්නේවත්, එයින් කිසිවක් අඩු කරන්නේවත් නැතිව, මා ඔබට නියම කරන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපදින්න. ස්වාමින්වහන්සේ බාල්-පෙයෝර්හි දී කළ දෑ ඔබේ ම ඇස්වලින් ඔබ දුටුවා. බාල්-පෙයෝර් පසු පස ගිය හැම කෙනකු ම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අතරින් විනාශ කර දැමූ හැටි ඔබ දුටුවා. එහෙත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට බැඳී සිටි ඔබ හැම අදත් ජීවත් ව සිටිනවා. ඔන්න! මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මට අණ කළ සේ, මා ඔබට මේ නියෝග හා නියමයන් ඉගැන්නුවේ, හිමි කර ගන්නට ඔබ ඇතුළු වන දේශයේදී ඔබ ඒවා අනුගමන කරන පිණිසයි. මනා සැලකිල්ලෙන් ඒවා පිළිපදින්න. මන්ද ඔබේ ප්‍රඥාවත්, අවබෝධයත් සෙසු ජාතීනට පෙන්නුම් කරන්නේ එමඟිනි. මෙම නියෝග සියල්ල ගැන අසන්නට ලැබෙන කල, “සැබවින් ම මේ ශ්‍රේෂ්ඨ ජාතිය ප්‍රඥාවත්, බුද්ධිමත් ජනතාවකැ” යි ඔවුන් කියනු ඇත. අප අමතන කවර විටෙක වුව, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ළං ව සිටින සේ, තමනට ළං ව තමන්ගේ දෙවියන් ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ වෙනත් ජාතියක් වේ ද? අද මා ඔබ ඉදිරියේ තබන මේ තරම් ධර්මිෂ්ඨ නියෝග හා නියමයන් වැනි නීති සමුදායක් ඇති ව සිටින්නට තරම් ශ්‍රේෂ්ඨ වූ අන් ජාතිය කවුරුන් ද? හොඳ පරෙස්සමින් සිටින්න; ඔබේ ම ඇස්වලින් ඔබ දුටු දෑ අමතක වීමට හෝ ඒවා ඔබේ හදින් ගිලිහී යෑමට නො හැකි වන සේ, තමන් ගැන හොඳ සෝදිසියෙන් සිටිමින්, ඔබේ දරුවන්ටත්, ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ දරුවන්ටත් ඒවා කියා දෙන්න. මතක ද! හොරේබ්හි දී ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ සිටගත් දවස. එවෙලාවේ උන්වහන්සේ මා අමතමින්, “මේ මිහි පිට ඔවුන් ජීවත් වන තාක් මට ගෞරව දැක්වීමට ඔවුන් ඉගෙන ගන්නා පිණිසත්, තම දරුවන්ට ද ඒවා උගන්වන පිණිසත් මගේ වචන අසන්නට ජනයා මා ඉදිරියට එක් රැස් කරවන්නැ” යි කී දවස. ඒ අවස්ථාවේ අඳුරු වලාවෙන් හා ඝනාන්ධකාරයෙන් යුතු ව අහස උසට ගිනි දැල් නැගෙමින්, කන්ද ගිනිගෙන ඇවිළෙන අතරේ, නුඹලා ඒ අසලට අවුත්, කඳු පාවුල සිටගත්තා. ස්වාමින්වහන්සේ එවිට ඒ ගින්නේ සිට ඔබ ඇමතූ විට, ඒ ඇමතුම් හඬ ඔබට ඇසුණ නමුදු, යම් රූපාකාරයක් ඔබ දුටුවේ නැහැ. එහි වූයේ කටහඬක් පමණයි. උන්වහන්සේ ස්වකීය ගිවිසුම වන දස පනත ඔබට ප්‍රකාශ කර, ඒවා අනුගමන කරන ලෙස ඔබට අණ කර, පසුව ගල් පුවරු දෙකක ඒවා ලියා දුන්නා. අත්කර ගන්නට යොර්දානෙන් එතෙර ව, ඔබ යන දේශයේදී ඔබ පිළිපැදිය යුතු නියෝග හා නියමයන් ඔබට උගන්වන ලෙස ඒ අවස්ථාවේ ස්වාමින්වහන්සේ මට අණ කළා.