ද්විතීය 3:21-29

ද්විතීය 3:21-29 SCV

ඒ අවස්ථාවේ මා යෝෂුවාට අණ කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ රජුන් දෙදෙනාට කළ සියලු දේ ඔබේ ම දෑසින් ඔබ දුටුවා. එතෙර ඔබ යන සියලු රාජධානිවලට ද ස්වාමින්වහන්සේ ඒ දේ ම කරනවා ඇත. ඔවුනට භය වන්න එපා. මන්ද ඔබ උදෙසා සටන් වදින්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යැ” යි දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ මා ස්වාමින්වහන්සේට කන්නලව් කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබේ උත්තම භාවය හා ඔබේ බලවත් හස්තය, ඔබ ඔබගේ සේවකයාට පෙන්වීමට පටන් ගත් සේක. ඔබ කරන ක්‍රියා හා වික්‍රම කරන්නට සමත් අන් දෙවි කෙනකු ස්වර්ගයේ හෝ පොළොවේ හෝ වේ ද? යොර්දානෙන් එහා පිහිටි ඒ අපූරු දේශය, ඒ අපූරු කඳුකරය හා ලෙබනොන් දැක ගන්නට අනේ මට ඉඩ දුන මැනව” යි ඉල්ලා සිටියා. එහෙත් නුඹලා නිසා මා සමඟ කෝප ව සිටි ස්වාමින්වහන්සේ මට සවන් දීමට අකමැති ව, “ඇති, ඇති! මේ කාරණය ගැන තවත් කතා නො කරන්න; පිස්ගා කඳු මුදුනට නැග, බටහිර හා උතුර ද දකුණ හා නැගෙනහිර ද දෙස සිසාරා බලන්න; යොර්දාන් එතෙරට ඔබ නො යන නිසා, ඒ දේශය ඔබේ දෑසින් දැක බලා ගන්න. කෙසේ වෙතත්, යෝෂුවාට බලය පවරා, ඔහු ධෛර්යවත් කරන්න; ඔහු ශක්තිමත් කරන්න. මන්ද එගොඩට යෑමට මේ ජනතාවට නායකත්වය දෙනු ඇත්තේ ඔහු ය. ඔබ දකින ඒ දේශය ඔවුනට උරුම කර ගන්නට ඔහු ක්‍රියා කරනු ඇතැ” යි කී සේක. එබැවින් අපි බෙත්-පෙයෝර් අසල මිටියාවතේ නතර ව සිටියෙමු.