ද්විතීය 3:12-20

ද්විතීය 3:12-20 SCV

එකල අප අල්ලා ගත් ඒ දේශයේ ගිලියාද් කඳුකරයෙන් අඩක් හා එහි නගර ඇතුළු අර්ණොන් දොරුව අසබඩ අරෝයෙර් සිට උතුරු පළාත, මම රූබෙන් ගෝත්‍රයට හා ගාද් ගෝත්‍රයට දුනිමි. ගිලියාද්හි ඉතිරි පෙදෙස සහ ඕග්ගේ රාජධානිය වූ මුළු බාෂාන් පළාත, මම මනස්සේ ගෝත්‍රයේ අඩකට දුනිමි. (බාෂාන්හි මුළු අර්ගොබ් පළාත ම හැඳින්වුණේ රෙෆායිවරුන්ගේ දේශය නමිනි. මනස්සේ පරපුරේ යායීර්, ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමා දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලා ගත්තේ ය. ඔහු ඊට තමාගේ නම තැබූවෙන්, අද දවස දක්වාත් බාෂාන් පළාත හැඳින්වෙන්නේ හව්වොත්-යායීර් යන නමිනි.) ගිලියාද් පළාත, මම මාකීර්ට දුනිමි. රූබෙන්වරුනට හා ගාද්වරුනට ගිලියාද් සිට දකුණු දේශ සීමාවේ අර්ණොන් දොරුවේ මැද දක්වා ද නැගෙනහිර දෙසින් යබ්බොක් ගංගාව තෙක් වූ අම්මොන්වරුන්ගේ දේශ සීමාව දක්වා ද දිවෙන ප්‍රදේශ දුනිමි. එහි බටහිර සීමාව වූයේ, කින්නෙරෙත් සිට පිස්ගා කඳු බෑවුම පහළින් වූ අරාබා මුහුද (මළ මුහුද) තෙක් වූ අරාබාහි යොර්දානයයි. එකල මම ඔබට අණ කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ දේශය ඔබට දී ඇත්තේ, එය අත්කර ගන්නටයි. ඔබ අතර යුද්ධයට සන්නද්ධ රණශූර මිනිසුන් ඔබගේ සහෝදර සෙසු ඉශ්‍රායෙල්වරුනට පෙරටුව යොර්දානෙන් එතෙරට යා යුතුයි. එසේ වුව ද ඔබේ භාර්යාවන්, ඔබේ බාලයින් හා ඇති කරන ඔබේ සත්ව රංචුවලට (බොහෝ වූ සත්ව සම්පතක් ඔබට සිටින වග දනිමි) මා ඔබට පවරා දුන් නගරවල නතර විය හැකියි. ස්වාමින්වහන්සේ ඔබට සේ ම, ඔබේ සහෝදර ජනයාට විවේකය ලබා දී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යොර්දානෙන් එතෙර ඔවුනට දෙන දේශය ඔවුන් අත්පත් කර ගන්නා තෙක්, එසේ විය යුතුයි. ඉන්පසු මා ඔබට දුන් මේ ඉඩකඩම්වලට ඔබට ආපසු ආ හැකි යැ” යි කීවෙමි.