ද්විතීය 3:1-22
ද්විතීය 3:1-22 SCV
ඊළඟට අපි බාෂාන් දෙසට හැරී, ඒ මාවත ඔස්සේ ගමන් කළෙමු. බාෂාන්හි රජු වූ ඕග් ඔහුගේ මුළු හමුදාව ද කැටිව, එද්රෙයිහි දී අප හා යුධ වැදීමට අප හමුවට පෙරට ආවේ ය. ස්වාමින්වහන්සේ එවිට මා ඇමතූ සේක්, “ඔහුට භය නො වන්න. මන්ද ඔහුත්, ඔහුගේ මුළු හමුදාවත්, ඔහුගේ දේශයත් මම ඔබේ අතට හසුකර දුනිමි. අමෝරිවරුන්ගේ රජු වූ හෙෂ්බෝන්හි රජකම් කළ සීහොන්ට ඔබ කළ දේ ම මොහුටත් කරන්නැ” යි පැවසූ සේක. මෙසේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ බාෂාන්හි රජු වූ ඕග් ද ඔහුගේ මුළු හමුදාව ද අපේ අත්වලට බාර දුන් සේක. ඔවුන් ගසා හෙළූ අපි, ඒ එකකුදු ඉතිරි නො කළෙමු. එකල ඔහුගේ පුරවර සියල්ල අපි අල්ලා ගත්තෙමු. බාෂාන්හි ඕග්ගේ රාජධානිය වූ මුළු අර්ගොබ් පළාතේ වූ පුරවර හැටෙන් එකකුදු නෑර අපි අල්ලා ගතිමු. එම පුරවර හැම එකක් ම උස් පවුරු, දොරටු හා අගුළු සහිත ආරක්ෂිත ඒවා විය. ඒ හැර පවුරුවලින් තොර ගම්මාන මහත් ගණනාවක් ද විය. පුරුෂයින් ද ස්ත්‍රීන් ද ළමයින් ද ඇතුළු ව ඒ හැම පුරවරයක් ම අප මුළුමනින් ම විනාශ කර දැමුවේ හෙෂ්බෝන්හි රජු වූ සීහොන් අප විසින් මුළුමනින් විනාශ කළ පරිද්දෙනි. එහෙත් ගව, එළු, බැටළු ආදී ඇති කරන සියලු සතුන් හා ඒ නගරවලින් පැහැර ගත් කොල්ලය ද අපි ගෙන ගියෙමු. මෙසේ අපි එකල අමෝරි ජාතික එම රජුන් දෙදෙනා වෙතින් අර්ණොන් දොරුවේ සිට හෙර්මොන් කන්ද දක්වා වූ නැගෙනහිර යොර්දාන් පෙදෙස අල්ලා ගතිමු. (සීදොන්වරුන් හෙර්මොන් කන්ද හැඳින්වූයේ සිරියොන් නමිනි. අමෝරිවරුන් එය හැඳින්වූයේ සෙනීර් නමිනි.) උස් සමභූමියේ වූ නගර සියල්ල ද මුළු ගිලියාද් පෙදෙස ද බාෂාන්හි ඕග්ගේ රාජධානියේ නගර වන සලෙකා හා එද්රෙයි දක්වා වූ මුළු බාෂාන් පෙදෙස ද අපි අල්ලා ගතිමු. (රෙෆායිවරුන් ටික දෙනා අතරින් ඒ වන විට ජීවත් ව සිටියේ බාෂාන් රජු වූ ඕග් පමණි. යකඩින් සැදුම් ලද ඔහුගේ යහන, මෙන්න! දිගින් නව රියනකි. පළලින් සිවු රියනකි. එය අම්මොන්වරුන්ගේ රබ්බාහි තවමත් තිබෙනවා නො වේ ද?) එකල අප අල්ලා ගත් ඒ දේශයේ ගිලියාද් කඳුකරයෙන් අඩක් හා එහි නගර ඇතුළු අර්ණොන් දොරුව අසබඩ අරෝයෙර් සිට උතුරු පළාත, මම රූබෙන් ගෝත්‍රයට හා ගාද් ගෝත්‍රයට දුනිමි. ගිලියාද්හි ඉතිරි පෙදෙස සහ ඕග්ගේ රාජධානිය වූ මුළු බාෂාන් පළාත, මම මනස්සේ ගෝත්‍රයේ අඩකට දුනිමි. (බාෂාන්හි මුළු අර්ගොබ් පළාත ම හැඳින්වුණේ රෙෆායිවරුන්ගේ දේශය නමිනි. මනස්සේ පරපුරේ යායීර්, ගෙෂූර්වරුන්ගේ හා මාකාතිවරුන්ගේ දේශ සීමා දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලා ගත්තේ ය. ඔහු ඊට තමාගේ නම තැබූවෙන්, අද දවස දක්වාත් බාෂාන් පළාත හැඳින්වෙන්නේ හව්වොත්-යායීර් යන නමිනි.) ගිලියාද් පළාත, මම මාකීර්ට දුනිමි. රූබෙන්වරුනට හා ගාද්වරුනට ගිලියාද් සිට දකුණු දේශ සීමාවේ අර්ණොන් දොරුවේ මැද දක්වා ද නැගෙනහිර දෙසින් යබ්බොක් ගංගාව තෙක් වූ අම්මොන්වරුන්ගේ දේශ සීමාව දක්වා ද දිවෙන ප්‍රදේශ දුනිමි. එහි බටහිර සීමාව වූයේ, කින්නෙරෙත් සිට පිස්ගා කඳු බෑවුම පහළින් වූ අරාබා මුහුද (මළ මුහුද) තෙක් වූ අරාබාහි යොර්දානයයි. එකල මම ඔබට අණ කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ දේශය ඔබට දී ඇත්තේ, එය අත්කර ගන්නටයි. ඔබ අතර යුද්ධයට සන්නද්ධ රණශූර මිනිසුන් ඔබගේ සහෝදර සෙසු ඉශ්‍රායෙල්වරුනට පෙරටුව යොර්දානෙන් එතෙරට යා යුතුයි. එසේ වුව ද ඔබේ භාර්යාවන්, ඔබේ බාලයින් හා ඇති කරන ඔබේ සත්ව රංචුවලට (බොහෝ වූ සත්ව සම්පතක් ඔබට සිටින වග දනිමි) මා ඔබට පවරා දුන් නගරවල නතර විය හැකියි. ස්වාමින්වහන්සේ ඔබට සේ ම, ඔබේ සහෝදර ජනයාට විවේකය ලබා දී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යොර්දානෙන් එතෙර ඔවුනට දෙන දේශය ඔවුන් අත්පත් කර ගන්නා තෙක්, එසේ විය යුතුයි. ඉන්පසු මා ඔබට දුන් මේ ඉඩකඩම්වලට ඔබට ආපසු ආ හැකි යැ” යි කීවෙමි. ඒ අවස්ථාවේ මා යෝෂුවාට අණ කරමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ රජුන් දෙදෙනාට කළ සියලු දේ ඔබේ ම දෑසින් ඔබ දුටුවා. එතෙර ඔබ යන සියලු රාජධානිවලට ද ස්වාමින්වහන්සේ ඒ දේ ම කරනවා ඇත. ඔවුනට භය වන්න එපා. මන්ද ඔබ උදෙසා සටන් වදින්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යැ” යි දැනුම් දුන්නා.

