ද්විතීය 2:26-37
ද්විතීය 2:26-37 SCV
එවිට මම කෙදේමොත් කාන්තාරයේ සිට හෙෂ්බෝන්හි රජු වූ සීහොන් වෙත පණිවුඩකරුවන් මගින් සාමය පිළිගන්වා, මෙසේ කියා යැවීමි. “ඔබේ රට හරහා යෑමට අපට ඉඩ දෙන්න. අප ගමන් කරන්නේ ප්රධාන පාරේ පමණයි. එයින් වමට හෝ දකුණට හෝ හැරෙන්නේ නැත; කෑමට අහරත්, බීමට ජලයත් ඒවායේ නිසි මිලට අපට විකුණන්න. පා ගමනින් රට මැදින් යන්නට පමණක් ඉඩ දෙන්න. සේයිර්හි වෙසෙන ඒසව්ගෙන් පැවත එන්නන් ද ආර්හි වෙසෙන මෝවබ්වරුන් ද කළේ එලෙසයි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට දෙන දේශයට යෑමට යොර්දාන් ගඟින් එතෙර වන තෙක්, අපි එසේ යන්නෙමු” යි දැන්වීමි. එහෙත් හෙෂ්බෝන්හි රජු වූ සීහොන් තම රට මැදින් අපට යන්නට දීම ප්රතික්ෂේප කළේ ය. එසේ වූයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දැන් මේ කර තිබෙන පරිදි, ඔබේ අත්වලට ඔහු යටත් කර දෙන පිණිස, ඔහුගේ සිත දැඩි කොට, ඔහුගේ හද මුරණ්ඩු කර තිබූ බැවිනි. එවිට ස්වාමින්වහන්සේ මා අමතමින්, “මෙන්න! සීහොන් සහ ඔහුගේ රට මම ඔබට දීමට පටන් ගතිමි. දැන් ඔහුගේ දේශය යටත් කර ගනිමින්, එය අත්කර ගැනීම පටන් ගන්නැ” යි පැවසූ සේක. පසුව සීහොන් ද ඔහුගේ මුළු හමුදාව ද යහස් වෙත ළඟා වී, අප හා සටනට ආ කල, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ඔහු යටත් කර දුන් සේක. අප ඔහු ගසා හෙළා දැමුවේ ඔහුගේ පුතුන් ද ඔහුගේ මුළු හමුදාව ද සමඟිනි. අප එකල ඔහුගේ නගර සියල්ල අල්ලාගෙන, ස්ත්රීන් හා පුරුෂයින් ද දරුවන් ද මුළුමනින් ම විනාශ කර දැමුවේ කිසිවකුදු ඉතිරි නො කරමිනි. එහෙත් ගව, එළු, බැටළු යන ඇති කරන සතුන් ද අප අල්ලා ගත් නගරවලින් අප පැහැර ගත් කොල්ලය ද අපි ගෙන ගියෙමු. අර්ණොන් දොරුව අද්දර පිහිටි අරෝයෙර් පටන් හා දොරුව අසබඩ පුරවරයේ පටන් ගිලියාද් දක්වා අපට අසීරු වූ එක ම නගරයක් හෝ නො වී ය. අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ හැම නගරයක් ම අපට යටත් කර දුන් සේක. එහෙත් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ අණ පරිද්දෙන් අම්මොන්වරුන් සතු දේශයෙන් කොටසක්වත්, යබ්බොක් නදිය පසෙක වූ පෙදෙසේ හෝ කඳුකරය වටා වූ නගරයක් වත් ඔබ අල්ලා ගත්තේ නැත.

