ද්විතීය 18:9-15

ද්විතීය 18:9-15 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පිවිසි කල එහි වෙසෙන ජාතීන්ගේ පිළිකුල් සහගත මාර්ග අනුකරණය ඉගෙන ගැනීම නො කළ යුතු ය. තම පුතු හෝ දියණිය හෝ ගින්නෙහි පූජා කරන කිසිවකුත් ඔබ අතරේ නො විය යුතු ය. පේන කියන්නකු හෝ මන්තරකරුවකු, නිමිති බලන්නකු, මන්තර ගුරකු, හූනියම්කරුවකු, භූත-බන්ධන හෝ ආත්ම බන්ධනකරුවකු, මළවුන් සමඟ කතා කරන්නකු ඔබ අතරේ නො විය යුතු ය. ඒ දෑ කරන කවරකු වුව ස්වාමින්වහන්සේට පිළිකුලකි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එම ජාතීන් ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන්ගේ එම පිළිකුල් ක්‍රියා නිසා ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ දෝෂ රහිත විය යුතු ය. ඔබ විසින් අත්පත් කර ගනු ලබන ජාතීන් මන්තරකරුවනට හෝ පේන කියන්නන්ට සවන් දෙන නමුදු, ඔබට ඒ දෑ කිරීමට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අවසර දී නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් ඔබට නැගිටුවා දෙන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය.