ද්විතීය 18:14-22

ද්විතීය 18:14-22 SCV

ඔබ විසින් අත්පත් කර ගනු ලබන ජාතීන් මන්තරකරුවනට හෝ පේන කියන්නන්ට සවන් දෙන නමුදු, ඔබට ඒ දෑ කිරීමට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අවසර දී නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් ඔබට නැගිටුවා දෙන සේක. ඔබ ඔහුට සවන් දිය යුතු ය. හොරේබ්හි එක් රැස්වීමේ දවසේ, “අපේ දෙවියන්වහන්සේගේ කටහඬ යළි අසන්නටවත්, මේ මහා ගින්න යළි දකින්නටවත් අපට නො ලැබේවා! නැතහොත්, අප මියෙනු ඇතැ” යි කීමෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගෙන් ඔබ ඉල්ලා සිටියේ එයයි. එවිට ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “ඔවුන් කී දේ හරි. මම ඔවුන්ට, ඔබ හා සමාන දිවැසිවරයකු ඔවුන්ගේ සහෝදර ජනයා වෙතින් නැගිටුවා දෙන්නෙමි. මගේ වචන මම ඔහුගේ මුවෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන හැම දේ ම ඔහු ඔවුන්ට පවසනු ඇත. මගේ නාමයෙන් ඒ දිවැසිවරයා පවසන මගේ වචනවලට කවරකු වුව සවන් නො දෙන්නේ නම්, මම ම ඔහුගෙන් ඊට වග උත්තර විමසන්නෙමි. මවිසින් අණ නො කළ දෙයක් මගේ නාමයෙන් තම හිතුමතය ලෙස පවසන දිවැසිවරයා හෝ අන් දෙවිවරුන්ගේ නාමයෙන් කතා කරන දිවැසිවරයා මරණයට පත් කළ යුතු ය.” “ස්වාමින්වහන්සේ කතා නො කළ වචනය කවරේදැයි අප දැනගන්නේ කෙසේ දැ?” යි ඔබ, ඔබෙන් ඇසිය හැකි ය. ස්වාමින්වහන්සේගේ නාමයෙන් දිවැසිවරයකු පැවසූ දෙයක් සිදු නො වේ නම් හෝ ඉටු නො වේ නම්, එය ස්වාමින්වහන්සේ පැවසූ වචනය නො වේ. ඒ දිවැසිවරයා හිතුමතේට කතා කිරීමකි. ඔහුට බිය නො වන්න.