ද්විතීය 16

16
පාස්කු මංගල්‍යය
1ආබීබ් මාසය අනුස්මරණ කර, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පාස්කුව#16:1 පාස්කුව එනම් පසු කර යෑම පවත්වන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට උන්වහන්සේ ඔබ ගෙන ආවේ, මේ ආබීබ් මාසයේ රැයක ය. 2ස්වකීය නාමය වාසයට ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේ ඔබේ එළු, බැටළු හෝ ගව රංචුවේ සතකුගෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පාස්කු යාග පූජාව කරන්න. 3ඒවා සමඟ මුහුන් මුසු රොටි අනුභව නො කරන්න. ඔබ ඊජිප්තුව හැර ආවේ ලහි ලහියේ බැවින්, හත් දවසක් මුහුන් නුමුසු රොටි හෙවත් දුක් ගැහැට රොටි අනුභව කළ යුත්තේ, ඊජිප්තුවෙන් ඔබේ නික්මයෑම, ඔබේ ජීවිතයේ සියලු දවස්හි ඔබට සිහි වන පිණිස ය. 4හත් දවසක් පුරාවට ඔබේ මුළු දේශය තුළ ඔබ අතරේ මුහුන් තිබෙනු දක්නට නො ලැබේවා. පළමු දින සවස ඔබ පූජා කරන මස්වලින් කිසිවක් පසු දා උදය වන තුරු නො තබා ගත යුතු ය.
5ඔබ පාස්කුව පූජා කළ යුත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන කවර හෝ නගරයක් තුළදී නො ව, 6ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය වාසයට තෝරා ගන්නා ස්ථානයේදී පමණි. එහිදී සවස හිරු බැස යන කල, ඊජිප්තුවෙන් ඔබ පිටත් ව ආ වේලාවේ පාස්කුව පූජා කළ යුතු ය. 7ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේදී එය පුලුස්සා අනුභව කරන්න. පසු දා උදෑසන ඔබේ කූඩාරම් වෙත ඔබට ආපසු යා හැකි ය. 8හය දවසක් මුහුන් නුමුසු රොටි අනුභව කරන්න. හත් වන දවසේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එක් රැස්වීමක් පවත්වන්න. එදින ඔබ කිසි වැඩක් නො කළ යුතු ය.
සති මංගල්‍යය
9ඔබ දෑකැත්ත ගොයමට තබා අස්වනු නෙළීමට පටන් ගැන්මේ සිට, සති හතක් ගණන් කර ගන්න. 10ඉන්පසු ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දී ඇති ආශිර්වාදවලට ප්‍රමාණානුකූල ව ස්වේච්ඡා පූජාවක් ඔප්පු කරමින්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සති මංගල්‍යය පවත්වන්න. 11මෙසේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය වාසයට තෝරා ගන්නා ස්ථානයේ උන්වහන්සේ ඉදිරියෙහි ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුත්තේ, ඔබේ පුතුන් හා දූවරුන්, ඔබේ සේවක සේවිකාවන්, ඔබේ නගරයේ වෙසෙන ලෙවීවරුන්, ඔබ අතරේ වෙසෙන විදෙස්සන්, පියා අහිමි දරුවන් හා වැන්දඹු කාන්තාවන් සමඟිනි. 12ඊජිප්තුවේදී ඔබත් වහලුන් ව සිටි වග සිහි කරන්න. මෙම නියෝග ඕනෑකමින් පිළිපදින්න.
කූඩාරම් මංගල්‍යය
13ඔබගේ කමතේ හා ඔබගේ මිදි මෝලේ නිපැයුම් ඔබ එක් රැස් කළ පසු, හත් දවසක් කූඩාරම් මංගල්‍යය පවත්වන්න. 14ඔබත්, ඔබගේ පුතුන් හා දූවරුන්, ඔබගේ සේවක සේවිකාවන්, ඔබේ නගරවල වෙසෙන ලෙවීවරුන්, විදෙස්සන්, පියා අහිමි දරුවන් හා වැන්දඹු කාන්තාවන් යන අයත් ඔබගේ මංගල්‍යයේදී ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. 15ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේ හත් දවසක් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට උත්සව පවත්වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ මුළු නිපැයුමටත්, ඔබේ අත්වල සියලු වැඩවලටත් ආශිර්වාද කරන සේක. මෙසේ ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේ ය.
16අවුරුද්දකට තුන් වතාවක් ඔබේ සියලු පිරිමින්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයෙහි උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතු ය. ඒ, මුහුන් නුමුසු රොටි මංගල්‍යයේදී, සති මංගල්‍යයේදී හා කූඩාරම් මංගල්‍යයේදී ය. කිසිවකු හෝ ස්වාමින්වහන්සේ ඉදිරියට හිස් අතින් නො පැමිණිය යුතු ය. 17ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර ඇති ප්‍රමාණානුකූල ව හැම කෙනෙක් ම තුටු පඬුරක් ගෙන ආ යුතු ය.
විනිසුරුවෝ
18ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන හැම නගරයක ම, ඔබේ එක් එක් ගෝත්‍රය සඳහා විනිශ්චයකරුවන් හා නිලධාරීන් පත් කරන්න. ඔවුන් යුක්ති සහගත ව ජනයා විනිශ්චය කළ යුතු ය. 19යුක්තිය, අයුක්තියට නො හරවන්න. පක්ෂග්‍රාහී නො වන්න. අල්ලස් නො ගන්න. මන්ද අල්ලස, නැණවතුන්ගේ ඇස් අන්ධ කර, දමිටුන්ගේ වචන කණපිට පෙරළවයි. 20ඔබ ජීවත් වී, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය උරුම කර ගන්නා පිණිස, යුක්තිය ඉටු කරන්න; යුක්තිය පමණක් ම අනුගමන කරන්න.
අනිසි නමස්කාරය
21ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ ගොඩ නගන පූජාසනය පසෙකින් අෂේරා සැමරුම් ලී කණු නො සිටුවන්න. 22පූජනීය ගලක් ද නො සිටුවන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒවාට ද්වේෂ කරන සේක.

දැනට තෝරාගෙන ඇත:

ද්විතීය 16: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න