ද්විතීය 15:1-11

ද්විතීය 15:1-11 SCV

සෑම හත් වසරක් කෙළවරදී ඔබ, ණය අවලංගු කළ යුතු ය. එය කළ යුත්තේ මෙසේයි: හැම ණය හිමියෙක් ම තම සහෝදර අසල්වැසියාට දී තිබූ ණය අවලංගු කළ යුතු ය. ස්වාමින්වහන්සේගේ ණය කපා හැරීම ප්‍රකාශ කර ඇති බැවින්, තම සහෝදරයාට, තම අසල්වැසියාට ණය ඉල්ලා බල කිරීම නො කළ යුතු ය. ණය ගෙවන ලෙස විදෙස්සකුට බල කිරීමට ඔබට පුළුවන. එහෙත් ඔබේ සහෝදර ජනයාගේ කෙනකුගෙන් ඔබට අය විය යුතු කවර ණයක් වුව ඔබ කපා හැරිය යුතු ය. කෙසේ වුව ද ඔබ අතරේ දිළිඳුන් නො සිටිය යුතු ය. මන්ද ඔබට උරුමයක් කොට හිමි කර ගන්නට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙහි උන්වහන්සේ ඔබට මහත් සේ ආශිර්වාද කරන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ සපුරාම කීකරු වෙමින්, අද මා ඔබට ආඥා කරන මේ සියලු ආඥා පිළිපැදීමට ඔබ පරෙස්සම් වුවහොත් පමණි. පොරොන්දු වූ පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්, බොහෝ ජාතීන්ට ඔබ ණයට දෙනු ඇත. එහෙත් කිසිවකුගෙන්වත් ණයට ගන්නේ නැත. ඔබ බොහෝ ජාතීන් පාලනය කරනු ඇත. එහෙත් ඔවුන් ඔබ පාලනය කරනු නැත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ යම් නගරයක ඔබේ සහෝදර ජනයා අතරේ දුගියකු වෙතොත්, ඔබේ ඒ දුගී සහෝදරයාට දැඩි හදින් හෝ මසුරු ලෙසින් නො සැලකිය යුතු ය. ඔහුගේ අවැසිතාව අනුව නො මසුරුවත්, ත්‍යාගශීලීවත් ඔහුට ණයට දෙන්න. “හත් වන වසර, ණය කපා හරින වසර ළඟ ය” යන නපුරු සිතිවිල්ල රඳවා නො ගන්නට පරෙස්සම් වන්න. එසේ සිතා ඔබේ සහෝදර දුගියාට කිසිවක් නො දී, ඔහුට නො සලකා සිටීමෙන් වළකින්න; නැතහොත් ඔහු ස්වාමින්වහන්සේ වෙත ඔබට එරෙහිව කන්නලව් කරනු ඇත. එවිට ඒ පවට ඔබ වරදකරු වනු ඇත. ඔහුට දිය යුත්තේ නො කැමැත්තෙන් තොර ව, ත්‍යාගශීලී ව ය. ඒ හේතුවෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ සියලු කටයුතුවලට හා ඔබ අත ගසන හැම දේකට ආශිර්වාද කරන සේක. දේශයේ කවදත් දුගියන් සිටිනු ඇත. එබැවින් ඔබේ සහෝදරයින් වෙත, ඔබේ දේශයේ දුගීන් සහ අග හිඟ ඇත්තවුන් වෙත නිර්ලෝභී ව කටයුතු කරන ලෙස මම ඔබට අණ කරමි.