ද්විතීය 11:8-24

ද්විතීය 11:8-24 SCV

එබැවින් අද දවසේ මා ඔබට දෙන ආඥා සියල්ල පිළිපැදිය යුත්තේ, හිමි කර ගැනීම පිණිස යොර්දානෙන් එතෙර ව, ඔබ යන දේශයට පිවිස, එය අත්කර ගැනීමට ඔබට සවිබල ලැබෙනු පිණිසත්, ඔබේ පියවරුනට හා ඔවුන්ගෙන් පැවත එන්නන්ට දීමට ස්වාමින්වහන්සේ ඔවුනට දිවුළ ඒ කිරි හා පැණි ගලා යන දේශයේ ඔබ දිගු කල් ජීවත් වන පිණිසත් ය. අත්කර ගැනීමට ඔබ ඇතුළු වන මේ දේශය, ඔබ පිටත් ව ආ ඊජිප්තු දේශය මෙන් නො වේ. බීජ වැපුරූ කල, එහිදී එළවළු පාත්තියකදී මෙන් ජල සැපයුම, පා ආධාරයෙන් කළ යුතු විණි. එහෙත් හිමි කර ගැනීමට යොර්දානෙන් එතෙර ව ඔබ යන දේශය, අහස් වැස්ස උරාගන්න කඳු මිටියාවත්වලින් යුත් දේශයකි. එය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ විසින් රැක බලාගන්නා දේශයකි; අවුරුද්දේ මුල සිට අග දක්වා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් නිරතුරු ඊට යොමු ව ඇත. එබැවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හදවතින් ද ඔබේ මුළු ජීවයෙන් ද ප්‍රේම කරන ලෙසට හා උන්වහන්සේට සේවය කරන ලෙසට, අද මා ඔබට දෙන ආඥාවලට විශ්වාසී ව ඔබ කීකරු වෙතොත්, ඔබේ ධාන්‍ය ද අලුත් මිදි යුෂ හා තෙල් ද රැස් කර ගැනීමට ඔබට හැකි වන සේ, ඔබේ දේශයට මම ශරත් සහ වසන්ත සෘතු වැසි නිසි කල වස්සන්නෙමි. ඔබේ ගවයින්ට කෙත් වත්හි තෘණ වැවෙන්නට මම සලසමි. මෙසේ ඔබ සිත් සේ කා, බී සෑහී සිටිනු ඇත. පරෙස්සම් වන්න; නැතහොත් ස්වාමින්වහන්සේ වෙතින් අහක් ව ගොස්, වෙනත් දෙවි-දේවතාවුන් නමැද, ඔවුනට වැඳ වැටීමට ඔබ හදවතින් මුළා වනු ඇත. එවිට, ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී, උන්වහන්සේ වැසි නො වසින පිණිස අහස පියවනු ඇත. එවිට පොළොව එහි අස්වනු නූපද්දනු ඇත. ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙන් ඔබ ඉක්මනින් වැනසී යනු ඇත. මගේ මේ වචන ඔබේ හදේත්, ඔබේ සිතේත් නිදන් කර ගන්න. ඒවා ඔබේ අත්වල සංකේත ලෙසින් ද ඔබේ නළලේ නළල් පටියක් ලෙසින් ද බැඳ ගන්න. නිවසේ ඔබ හිඳ සිටින විට ද පාරේ ගමන් කරන විට ද ඔබ නිදා ගන්න විට හා අවදි වන විට ද ඒවා ගැන කතා කරමින් ඔබේ දරුවනට ඒවා උගන්වන්න. ඒවා ඔබ නිවෙස්හි උළුවහුවල ද ඔබේ දොරටුවල ද ලියා තබන්න. එවිට, ඔබේ පියවරුනට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ දිවුළ දේශයෙහි ඔබගේත්, ඔබේ දරුවන්ගේත් ආයු කාලය, පොළොවට ඉහළින් වූ අහසේ ආයු කාලය මෙන් දීර්ඝ වන්නේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කිරීමත්, උන්වහන්සේගේ මාර්ග සියල්ලෙහි ගමන් කිරීමත්, උන්වහන්සේට ඇලුම් ව සිටීමත් රක්ෂා කරන ලෙසට මා ඔබට දෙන මේ ආඥා සියල්ල ඔබ සැලකිල්ලෙන් පිළිපදින්නේ නම්, ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙන් මේ සියලු ජාතීන් පන්නා දමන සේක. එවිට ඔබට වඩා විශාල, ඔබට වඩා බලවත් ජාතීන් ඔබ අත්පත් කර ගන්නවා ඇත. ඔබ පා තබන හැම බිම් කොටසක් ම ඔබට වන්නේ ය. ඔබගේ දේශ සීමාව, කාන්තාරයේ සිට ලෙබනොන් දක්වාත්, යුප්‍රටීස් ගංගාවේ සිට බටහිර මුහුද දක්වාත් විහිදේ.