ද්විතීය 1:1-33

ද්විතීය 1:1-33 SCV

යොර්දානයට නැගෙනහිරින් වූ පාළුකරයේදී මෝසෙස් මුළු මහත් ඉශ්‍රායෙල් ජනයාට පැවසූ වදන් මෙසේ වෙයි: ඔහු මෙවදන් පැවසුවේ පසෙකින් පාරාන් ද අනෙක් පසින් තොෆෙල්, ලාබාන්, හසේරොත් හා දීසාහාබ් යන පුරවර ද අතරේ, සූෆ් ඉදිරිපිට අරාබා නිම්නයේදී ය. සේයිර් කඳුකර මාවත ඔස්සේ හොරේබ්හි සිට කාදෙෂ්-බර්නේය වෙත යෑමට දවස් එකොළහක් ගත වේ. හතළිස් වන වසරේ එකොළොස් වන මස, පළමු දින මෝසෙස්, ජනයා සම්බන්ධ ව ස්වාමින්වහන්සේ ඔහුට අණ දී තිබූ දෑ, ඉශ්‍රායෙල් ජනයාට ප්‍රකාශ කළේ ය. එසේ කළේ, හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් ද අෂ්තාරෝත්හි රජකම් කළ බාෂාන්හි රජු වූ ඕග් ද එද්රෙයිහි දී මෝසෙස් විසින් පරදවනු ලැබීමෙන් පසුව ය. යොර්දානයට නැගෙනහිරින් වූ මෝවබ් අඩවියේදී මෝසෙස් මෙසේ කියමින්, මෙම නීතිය පැහැදිලි කරන්නට වන්නේ ය: අපේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ හොරේබ්හි දී අප ඇමතූ සේක්, “ඔබ මේ කන්දේ නැවතී සිටියා දැන් හොඳට ම ඇති. කඳවුර ගලවා, අමෝරිවරුන්ගේ කඳුකරයට ගමන් අරඹන්න. අරාබා නිම්නයෙහි ද කඳුකරයෙහි ද බටහිර කඳු බෑවුම්හි ද නෙගෙබ්හි ද මුහුදුකරය ඔස්සේ ද වෙසෙන සියලු අසල්වැසි ජනයා වෙත, එනම් කානානිවරුන්ගේ දේශයට හා ලෙබනොන්ට ද යුප්‍රටීස් මහ ගංගාව ද දක්වා යන්න. මෙන්න! මේ දේශය මම ඔබට දී ඇත්තෙමි. යන්න; එහි ඇතුල් ව, ඔබේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද ඔවුන්ගෙන් පසුව, ඔවුන්ගෙන් පැවත එන්නන්ට ද දෙන්නට ස්වාමින්වහන්සේ දිවුරා, පොරොන්දු වූ දේශය අත්පත් කර ගන්නැ” යි පැවසූ සේක. ඒ අවස්ථාවේ මා ඔබට කතා කොට, “තනි මට, ඔබ දරන්නට බැරි තරම් මහත් බරක්. ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මේ දවස වන විට ඔබ ගණනින් අධික කර ඇත්තේ, අහසේ තරු වගෙයි. ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පොරොන්දු වී ඇති සේ, මේ වගේ දහස් වාරයක් ඔබ වැඩි වන්නට සලසා, ඔබට ආශිර්වාද කරන සේක්වා! එහෙත් ඔබ අතරේ වන ප්‍රශ්න ගැටලු හා වාද විවාදවල සියලු බර තනි මා කෙලෙස දරන්න ද? එබැවින් ඔබ අතරේ හැම ගෝත්‍ර වංශයකින් ම ප්‍රඥාවත්, දැනුම් තේරුම් ඇති, කෘතහස්ත මිනිසුන් කීප දෙනකු තෝරා ගන්න. ඔබේ නායකයින් කොට මම ඔවුන් පත් කරන්නෙමි” යි පැවසුවා. ඔබ ඊට පිළිතුරු දෙමින්, “කරන්නට ඔබ කළ යෝජනාව අගේ යැ” යි මා හා එකඟ වුණා. එබැවින් මා, ඔබේ ගෝත්‍ර වංශවලින් ඔබ ම තේරූ ප්‍රඥාවත්, කෘතහස්ත මිනිසුන් ඔබ අතරේ අධිපතීන් කොට පත් කළා. ඔවුන් පත් වූයේ දහසාධිපතීන්, ශතාධිපතීන්, පනසාධිපතීන් හා දසාධිපතීන් හා ගෝත්‍ර වංශ නිලධාරීන් යන වශයෙනි. මා ඒ අවස්ථාවේදී ම ඔබේ එම විනිසුරුවනට අණ කරමින්, “ඔබේ සහෝදර ජනතාව අතර වන නඩු හබ අසා, විමසා, ආරවුල ඇත්තේ සහෝදර ඉශ්‍රායෙල්වරුන් දෙදෙනකු අතරේ වුව ද, ඉශ්‍රායෙල්වරයකු හා විදෙස්සකු අතරේ වුව ද, සාධාරණ ව විනිශ්චය කරන්න; විනිශ්චයේදී පක්ෂග්‍රාහී නො වන්න; උසස් පහත් කවරකුට වුව එක සේ සවන් දෙන්න; කිසිවකුට බය නො වන්න; මන්ද විනිශ්චය දෙවියන්වහන්සේගේ ය. ඔබට අසීරු නඩුවක් වේ නම්, එය මා වෙත ඉදිරිපත් කරන්න; මම එය අසන්නෙමි” යි කීවා. තවද ඔබ කළ යුතු වූ හැම දෙයක් ගැන මා ඒ අවස්ථාවේ ඔබට පැවසුවා. ඉන්පසු අපි, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට නියෝග කළ පරිදි, හොරේබ් වෙතින් පිටත් ව, ඔබ දුටු ඒ මුළු රුදුරු මහ කතර මැදින් අමෝරිවරුන්ගේ කඳුරට දෙසට ගමන් කර, කාදෙෂ්-බර්නේය වෙත අප ළඟා වුණා. එකල මා ඔබ අමතා, “ඔබ දැන් පැමිණ සිටින්නේ අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට දෙන අමෝරිවරුන්ගේ කඳු රටටයි. මෙන්න, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දැන් මේ දේශය දී තිබෙන්නේ ඔබටයි. යන්න! ගොස්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට කී පරිදි එය අත්පත් කර ගන්න. භය වන්න එපා; කැලඹෙන්න එපා” යි පැවසුවා. එවිට ඔබ සැවොම මා වෙත අවුත්, “අප වෙනුවෙන් දේශයේ ඔත්තු බලන්නට මිනිසුන් කීප දෙනකු යවමු; අප යා යුත්තේ කොයි පාරෙන් ද, කවර නගරවලට දැයි එවිට ඔවුන් අපට දන්වාවි” යි යෝජනා කළා. ඒ අදහස හොඳ වග මට ද පෙනී ගිය නිසා එක ගෝත්‍රයකින් එක් කෙනකු බැගින් ඔබෙන් දොළොස් දෙනෙක් තෝරාගනු ලැබුවා. ඔවුන් පිටත් ව, කඳුරටට ගොස්, එෂ්කොල් මිටියාවතට ගොස්, එහි තොරතුරු විපරම් කර, ඒ දේශයේ පල රැගෙන අප වෙත අවුත්, අපට කීවේ, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට දෙන්නේ අගනා දේශයකි” කියායි. ස්වාමින්වහන්සේට එහෙත් ඔබ එහි යෑම ප්‍රතික්ෂේප කරමින්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නියෝගයට එරෙහිව, කැරලි ගැසුවා. ඔබ, ඔබේ කූඩාරම් තුළට වී, මැසිවිලි නගමින්, “ස්වාමින්වහන්සේ අපට ද්වේෂ කරනවා; ඒකයි අප විනාශ කර දමන පිණිස, අමෝරිවරුන් අතට අප හසුකර දීමට, උන්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට අප ගෙනැවිත් ඇත්තේ. අප කෙසේ එහි යන්න ද? එහි ගිය අපේ සහෝදරයින් අප හදවත් අධෛර්ය කරමින්, ‘එහි මිනිසුන් අපට වඩා ශක්තිමත් ය; උස මහත ය, ඔවුන්ගේ නගර විශාල ය; පවුරු, අහසට උස ය; අප එහිදී අනාක්වරුන්ගේ පරපුරේ අය ද දුටුවා’ කියා” කීවා. එවිට මා ඔබ අමතමින්, “තැති ගන්න එපා; ඔවුනට භය වන්න එපා. ඔබට පෙරටුවෙන් යන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ ඇස් ඉදිරිපිට ඊජිප්තුවේදී හා පාළුකරයේදී කළ පරිදි, ඔබ වෙනුවෙන් සටන් කරන සේක. පියකු තම පුතු ඔසවාගෙන යන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මේ ස්ථානයට ළඟා වන තෙක්, ඔබ ආ මුළු මාර්ගය ඔස්සේ ම ඔබ රැගෙන ආ හැටි නුඹලා දැක්කා යැ” යි පැහැදිලි කළා. එහෙත් ඒ නො තැකූ ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තැබුවේ නැහැ. ගමනේදී ඔබට කඳවුරු ගසන්නට සුදුසු තැන් සොයමින් ද ඔබ යා යුතු මග පෙන්වමින් ද රැයෙහි ගිනි ටැඹකින් හා දවාලෙහි වලාකුළකින් ඔබට පෙරටුව ගියේ උන්වහන්සේ ය.