දානියෙල් 9:1-14

දානියෙල් 9:1-14 SCV

අහෂ්වේරොෂ්ගේ පුත්, කල්දිවරුන්ගේ රාජධානියේ පාලකයා බවට පත් කරන ලද මේදීය සම්භවයෙන් යුත් දාරෙයාවෙෂ්ගේ පළමු වසරේ, එනම් ඔහුගේ රාජ සමයේ පළමු වසරේ, දානියෙල් වන මම ශුද්ධ ලියවිල්ල තුළින් වටහා ගත්තේ, යෙරමියා දිවැසිවරයාට දෙන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව, යෙරුසලම පාළුවට හැර තිබෙන කාලය හැත්තෑ වසරක් වගයි. එබැවින් මම ස්වාමින් වන දෙවියන්වහන්සේ වෙත මුහුණ හරවා, නිරාහාරයෙන් යුතු ව, ගෝණි රෙදි හැඳ, අළුයෙහි හිඳ, උන්වහන්සේට යාච්ඤා ද අයැදුම් ද කරමින්, කන්නලව් කරන්නට වන්නෙමි. මම මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, පාපොච්චාරණ කළෙමි: “අහෝ ස්වාමිනි, තමන්වහන්සේට ප්‍රේම කරමින්, තම ආඥාවනට කීකරු වන සියල්ලන් සමඟ ස්වකීය ගිවිසුමත්, නොමියෙන ප්‍රේමයත් පවත්වන උත්තම වූත්, භයංකර වූත් දෙවියන්වහන්ස, අපි පව් කර ඇත්තෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කරමින්, කැරලි ගසා ඇත්තෙමු. ඔබගේ ආඥා හා නියමයන්වලින් අප ඉවත හැරී ඇත. අපේ රජුන්ටත්, අපේ අධිපතීන්ට, අපේ පියවරුන්ට හා දේශයේ සියලු ජනයාටත්, ඔබගේ නාමයෙන් කතා කළ ඔබගේ සේවකයින් වන දිවැසිවරුනටත් අප සවන් දුන්නේ නැත. “අහෝ ස්වාමිනි, ධර්මිෂ්ඨකම අයිති ඔබට ය. එහෙත් යූදා ජනයා ද යෙරුසලම් වාසීන් හා මුළු මහත් ඉශ්‍රායෙල් ජනයා ද වන අපට, ඔබට එරෙහිව කළ ද්‍රෝහිකම් නිසා ළඟ පාත මෙන් ම දුර බැහැර රටවලට ඔබ විසින් විසුරුවන ලද අපට අයිති අන්ත ලජ්ජාව ය. අහෝ ස්වාමින්වහන්ස, අප ද අපේ රජුන් ද අපේ අධිපතීන් හා අපේ පියවරුන් ද මෙසේ ලජ්ජාවට පත් ව ඇත්තේ, ඔබවහන්සේට එරෙහිව අප පව් කළ නිසා ය. දයාවන්තකමත්, කමාවීමත් අයිති අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්ට ය. මන්ද උන්වහන්සේට එරෙහිව අප කැරලි ගසා ඇත. අප අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට කීකරු වූයේ නැත; උන්වහන්සේගේ සේවක දිවැසිවරුන් මගින් අපට දුන් නීති, පිළිපැද්දේ නැත. ඉශ්‍රායෙල් සියල්ලෝ ඔබේ ව්‍යවස්ථාව කඩ කළෝ, ඔබේ හඬට කීකරුවීම ප්‍රතික්ෂේප කරමින්, ඉවත හැරී ගොස් ඇත්තෝ ය. “මෙසේ දෙවියන්වහන්සේගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් ශාප හා දිවුරුම් අප පිට වගුරුවනු ලැබ ඇත්තේ, අප ඔබට එරෙහිව පව් කළ නිසා ය. මහා විපත්තියක් අප පිට පැමිණවීමෙන් ඔබ කර ඇත්තේ අපට එරෙහිවත්, අප පාලනය කළ අපේ පාලකයින්ට එරෙහිවත්, ඔබ පැවසූ වචන ඉෂ්ට කිරීම ය. මන්ද යෙරුසලමට කරන ලද දේට සමාන විපත්තියක් මේ මුළු අහසින් යට කිසි ලෙසකත් සිදුකර නැත. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් පරිදි, මේ සියලු විපත්ති අප පිට පැමිණි නමුදු, අපේ පව්වලින් ඉවත හැරීමෙන් හා ඔබගේ සත්‍යතාව වෙත අවධානය යොමු කිරීමෙන් අප, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ප්‍රසාදය සෙව්වේ නැත. එනිසා ස්වාමින්වහන්සේ කල්-යල් බලා, මේ විපත්තිය අප පිට පැමිණ වූ සේක. මන්ද තමන් කරන සියල්ලේදී අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ධාර්මික ය. එසේ වුව ද අපි උන්වහන්සේට කීකරු නො වීමු.