දානියෙල් 6:21-28

දානියෙල් 6:21-28 SCV

දානියෙල් පිළිතුරු දෙමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! මගේ දෙවියන්වහන්සේ ස්වකීය දූතයා එවා සිංහයින්ගේ කටවල් පිය වූ සේක. උන් මට අනතුරක් කළේ නැත. මන්ද උන්වහන්සේගේ ඇස් හමුවේ මා නිදොස් වග පෙනී ගොස් ඇති බැවිනි. ඒ ඇරත්, අහෝ රජතුමනි, ඔබ හමුවේත් කිසි කලෙක මම වරදක් නො කළෙමි” යි කීවේ ය. එකල ප්‍රීතියෙන් පිනාගිය රජ, දානියෙල් ගුහාවෙන් ගොඩ ගැනීමට අණ දුන්නේ ය. දානියෙල් ගුහාවෙන් ගොඩට ගනු ලැබූ විට, ඔහුට කිසිදු අනතුරක් සිදු වී නැති වග පෙනී ගියේ ය. මන්ද ඔහු තමාගේ දෙවියන්වහන්සේ පිට විශ්වාසය තබා සිටියේ ය. කුඩුකේඩුකමින් දානියෙල්ට එරෙහිව චෝදනා කළ මිනිස්සු රජුගේ අණින් අල්ලා ගෙනෙන ලදුව, සිංහයින්ගේ ගුහාවට හෙළන ලදහ. ඔවුන්ගේ දරුවෝ හා බිරියෝ ද ඔවුන් සමඟ එහි හෙළනු ලද්දෝ ය. ඔවුන් ගුහා පත්ලට ළඟා වන්නටත් කලින්, ඔවුන් මැඩලූ සිංහයෝ, ඔවුන්ගේ ඇටකටු සියල්ල ද විකා පොඩිකර දැමූහ. ඉක්බිති, දාරෙයාවෙෂ් රජ පොළොව මුළුල්ලෙහි වූ ජනතාවන් ද ජාතීන් ද භාෂාවන් ද යන සියල්ලන් වෙත මෙසේ ලීවේ ය: “ඔබට බෙහෙවින් සෙත් වේවා! “මගේ රාජධානියේ හැම යටත් විජිතයක ජනයා, දානියෙල්ගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාත ව ගෞරව දැක්විය යුතු බවට මම ආඥාවක් නිකුත් කරමි. “මන්ද ජීවමාන දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. උන්වහන්සේ සදහට ම පැවත සිටින සේක. උන්වහන්සේගේ රාජ්‍යය විනාශ කළ නො හැක; උන්වහන්සේගේ ආධිපත්‍යය නිම වන්නේ නැත. උන්වහන්සේ මුදන සේක; ගලවන සේක. අහසෙහි ද පොළොවෙහි ද ලකුණු හා පුදුම දක්වන සේක. සිංහයින්ගේ බලයෙන් උන්වහන්සේ දානියෙල් මිදූ සේක.” මෙසේ දාරෙයාවෙෂ්ගේ පාලන සමයේ හා පර්සියානු කෝරෙෂ්ගේ පාලන සමයේ දානියෙල් සඵලවත් විය.