දානියෙල් 6:13-28
දානියෙල් 6:13-28 SCV
එවිට රජු ඉදිරිපිට ඔවුහු කතා කරමින්, “අහෝ රජතුමනි, යූදාහි පිටුවහලුන්ගෙන් කෙනකු වූ දානියෙල් ඔබටත්, ලිඛිත ව ඔබතුමා පැන වූ ආඥාවටත් කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. තවමත් ඔහු දවසට තුන් වරක් යාච්ඤා කරතැ” යි කීහ. ඒ වචන ඇසූ කල, රජු ඉමහත් සංවේගයට පත් විය. දානියෙල් මුදා ගැනීමට ඉටා ගත් රජු හිරු බසිනා තුරු ඔහු ගලවා ගැනීමට හැම තැතක් ම දැරී ය. එකල කණ්ඩායමක් වශයෙන් යළි රජු හමුවට ආ ඒ මිනිස්සු රජු අමතමින්, “අහෝ රජතුමනි, මෙය සිහි තබා ගන්න. මේදියානු හා පර්සියානුවන්ගේ නීතියට අනුව රජු නිකුත් කරන ආඥාවක් හෝ නියෝගයක් හෝ වෙනස් කළ නො හැකි යැ” යි කීහ. එබැවින් රජු අණ දුන්නේ ය. දානියෙල් ගෙන එනු ලැබ, සිංහයින්ගේ ගුහාවට හෙළා දමනු ලැබී ය. දානියෙල් ඇමතූ රජු, “නිති පතා ඔබ සේවය කළ ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගලවා ගන්නා සේක්වා” යි කීවේ ය. ගලක් ගෙනෙනු ලැබ, ගුහා කට ආවරණ කෙරිණ. දානියෙල් හා අදාළ ව කිසිදු වෙනසක් කළ නො හැකි වන සේ රජු එය තම පේරැස් මුදුවෙන් ද රජුගේ වංශවතුන්ගේ මුදුවලින් ද මුද්‍රා තැබී ය. ඉන්පසු ස්වකීය මාලිගයට ආපසු ගිය රජ, රැය ගත කළේ නිරාහාරයෙනි. කිසි විනෝදයක් ඔහු වෙත නො පමුණු වන ලදී; නින්ද ඔහු වෙතින් පලා ගියේ ය. අරුණ උදයේ එළිය වැටීගෙන එද්දී නැගිටුණු රජ සිංහයන්ගේ ගුහාව වෙත කඩිනමින් ගියේ ය. දානියෙල් සිටි ගුහාව අසලට පැමිණි රජු, බිඳුණු හඬින් දානියෙල්ට හඬ ගසමින්, “එම්බා දානියෙල්, ජීවමාන දෙවියන්වහන්සේගේ සේවකය, සිංහයින්ගෙන් ඔබ ගලවා ගැනීමට නිති පතා ඔබ සේවය කරන ඔබේ දෙවියන්වහන්සේට පුළුවන් වුණාදැ?” යි ඇසී ය. දානියෙල් පිළිතුරු දෙමින්, “අහෝ රජතුමා සැම කල් දිනේවා! මගේ දෙවියන්වහන්සේ ස්වකීය දූතයා එවා සිංහයින්ගේ කටවල් පිය වූ සේක. උන් මට අනතුරක් කළේ නැත. මන්ද උන්වහන්සේගේ ඇස් හමුවේ මා නිදොස් වග පෙනී ගොස් ඇති බැවිනි. ඒ ඇරත්, අහෝ රජතුමනි, ඔබ හමුවේත් කිසි කලෙක මම වරදක් නො කළෙමි” යි කීවේ ය. එකල ප්‍රීතියෙන් පිනාගිය රජ, දානියෙල් ගුහාවෙන් ගොඩ ගැනීමට අණ දුන්නේ ය. දානියෙල් ගුහාවෙන් ගොඩට ගනු ලැබූ විට, ඔහුට කිසිදු අනතුරක් සිදු වී නැති වග පෙනී ගියේ ය. මන්ද ඔහු තමාගේ දෙවියන්වහන්සේ පිට විශ්වාසය තබා සිටියේ ය. කුඩුකේඩුකමින් දානියෙල්ට එරෙහිව චෝදනා කළ මිනිස්සු රජුගේ අණින් අල්ලා ගෙනෙන ලදුව, සිංහයින්ගේ ගුහාවට හෙළන ලදහ. ඔවුන්ගේ දරුවෝ හා බිරියෝ ද ඔවුන් සමඟ එහි හෙළනු ලද්දෝ ය. ඔවුන් ගුහා පත්ලට ළඟා වන්නටත් කලින්, ඔවුන් මැඩලූ සිංහයෝ, ඔවුන්ගේ ඇටකටු සියල්ල ද විකා පොඩිකර දැමූහ. ඉක්බිති, දාරෙයාවෙෂ් රජ පොළොව මුළුල්ලෙහි වූ ජනතාවන් ද ජාතීන් ද භාෂාවන් ද යන සියල්ලන් වෙත මෙසේ ලීවේ ය: “ඔබට බෙහෙවින් සෙත් වේවා! “මගේ රාජධානියේ හැම යටත් විජිතයක ජනයා, දානියෙල්ගේ දෙවියන්වහන්සේට භය පක්ෂපාත ව ගෞරව දැක්විය යුතු බවට මම ආඥාවක් නිකුත් කරමි. “මන්ද ජීවමාන දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. උන්වහන්සේ සදහට ම පැවත සිටින සේක. උන්වහන්සේගේ රාජ්‍යය විනාශ කළ නො හැක; උන්වහන්සේගේ ආධිපත්‍යය නිම වන්නේ නැත. උන්වහන්සේ මුදන සේක; ගලවන සේක. අහසෙහි ද පොළොවෙහි ද ලකුණු හා පුදුම දක්වන සේක. සිංහයින්ගේ බලයෙන් උන්වහන්සේ දානියෙල් මිදූ සේක.” මෙසේ දාරෙයාවෙෂ්ගේ පාලන සමයේ හා පර්සියානු කෝරෙෂ්ගේ පාලන සමයේ දානියෙල් සඵලවත් විය.

