දානියෙල් 6:13-18
දානියෙල් 6:13-18 SCV
එවිට රජු ඉදිරිපිට ඔවුහු කතා කරමින්, “අහෝ රජතුමනි, යූදාහි පිටුවහලුන්ගෙන් කෙනකු වූ දානියෙල් ඔබටත්, ලිඛිත ව ඔබතුමා පැන වූ ආඥාවටත් කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. තවමත් ඔහු දවසට තුන් වරක් යාච්ඤා කරතැ” යි කීහ. ඒ වචන ඇසූ කල, රජු ඉමහත් සංවේගයට පත් විය. දානියෙල් මුදා ගැනීමට ඉටා ගත් රජු හිරු බසිනා තුරු ඔහු ගලවා ගැනීමට හැම තැතක් ම දැරී ය. එකල කණ්ඩායමක් වශයෙන් යළි රජු හමුවට ආ ඒ මිනිස්සු රජු අමතමින්, “අහෝ රජතුමනි, මෙය සිහි තබා ගන්න. මේදියානු හා පර්සියානුවන්ගේ නීතියට අනුව රජු නිකුත් කරන ආඥාවක් හෝ නියෝගයක් හෝ වෙනස් කළ නො හැකි යැ” යි කීහ. එබැවින් රජු අණ දුන්නේ ය. දානියෙල් ගෙන එනු ලැබ, සිංහයින්ගේ ගුහාවට හෙළා දමනු ලැබී ය. දානියෙල් ඇමතූ රජු, “නිති පතා ඔබ සේවය කළ ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගලවා ගන්නා සේක්වා” යි කීවේ ය. ගලක් ගෙනෙනු ලැබ, ගුහා කට ආවරණ කෙරිණ. දානියෙල් හා අදාළ ව කිසිදු වෙනසක් කළ නො හැකි වන සේ රජු එය තම පේරැස් මුදුවෙන් ද රජුගේ වංශවතුන්ගේ මුදුවලින් ද මුද්‍රා තැබී ය. ඉන්පසු ස්වකීය මාලිගයට ආපසු ගිය රජ, රැය ගත කළේ නිරාහාරයෙනි. කිසි විනෝදයක් ඔහු වෙත නො පමුණු වන ලදී; නින්ද ඔහු වෙතින් පලා ගියේ ය.

