දානියෙල් 4:5-18
දානියෙල් 4:5-18 SCV
මා භයගැන් වූ සිහිනයක් මම දැක්කෙමි. මගේ යහනේ මා සැතපී සිටියදී මගේ මනසේ ඇඳුණු රූප හා දර්ශන මා තැති ගැන්වී ය. එබැවින් එම සිහිනයේ අරුත මට පහදා දෙන පිණිස, බබිලෝනියේ සියලු ප්‍රාඥයින් මා ඉදිරියට පමුණු වන ලෙස මම අණ කළෙමි. මෙසේ ඉන්ද්‍රජාලිකයින් ද මන්ත්‍රකරුවන් ද කල්දිවරුන් ද නක්ෂත්‍රඥයින් ද පැමිණි කල, මම ඔවුනට සිහිනය කීවෙමි. එහෙත් එහි අරුත මට පහදා දීමට ඔවුහු අපොහොසත් වූහ. අන්තිමේදී දානියෙල් මා ඉදිරියට ආවේ ය. මම සිහිනය ඔහුට කීවෙමි. මගේ දෙවියන්ගේ නාමය ලෙස, බේල්ටෙෂසර් නමින් හඳුන්වන ලද මොහු තුළ ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් වෙසෙයි. මම ඔහු අමතමින්, “ඉන්ද්‍රජාලිකයින්ගේ ප්‍රධානී, බේල්ටෙෂසර්, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මයාණන් ඔබ තුළ වැඩ වෙසෙන වගත්, කිසි අභිරහසක් ඔබට අසීරු නො වන වගත් දනිමි. මා දුටු සිහිනයේ දර්ශන මේවායි. එහි අරුත් මට පහදා දෙන්න. මගේ යහනේ මා සැතපී සිටියදී මා දුටු දර්ශන මේවායි: මා බැලූ කල මෙන්න! මා ඉදිරියෙහි පොළොව මැද ගහක්; මහ උස ගහක්. ඒ ගහ විශාල ව වැඩී, ශක්තිමත් ව, එහි මුදුන ස්වර්ගයට ළඟා විණි. පොළොවේ සීමා අන්ත දක්වා ම එය දැකිය හැකි විණි. එහි කොළ අලංකාර විය. පල බහුල විය. සැමට ම ආහාර එහි තිබිණ. වන සත්තු ගහ යට සෙවණ ලදහ. අහස් පක්ෂීහු එහි අතුවල විසූහ. මාංශමය වූ සියල්ලෝ එයින් පෝෂණය ලදහ. “මගේ යහනේ සැතපී සිටිමින්, මා දුටු දර්ශනවල මා බලා සිටියදී මෙන්න! මා ඉදිරියේ මුරකරුවෙක්; ස්වර්ගයෙන් බැස එන ශුද්ධ කෙනෙක්. උස් හඬ නගා මොර ගැසූ ඔහු, ‘මේ ගහ කපා හෙළනු; එහි අතු රැහැ දමනු; එහි කොළ ගලවා, එහි පල විසුරුවනු; එහි සෙවණ යටින් වන සත්තු ද එහි අතු වෙතින් පක්ෂීහු ද පලා යත්වා! එහෙත් මුල් සහිත කඳ කොටස, යකඩ හා ලෝකඩ පට්ටමකින් බැඳ, වනයේ තෘණ අතරේ පසෙහි ම තියෙන්නට හරිනු. “ ‘ඔහු අහසේ පින්නෙන් තෙමේවා; ඔහුගේ පංගු කොටස පොළොවේ තෘණ අතරේ වන මෘගයින් සමඟ වේවා. ඔහුගේ මිනිස් මනස වෙනස් කරනු ලැබ, සතකුගේ මනසක් ඔහුට දෙනු ලැබේවා. මෙසේ කාල හතක් ඔහු සම්බන්ධ ව ගෙවී ගියා වේ. “ ‘මෙම තීරණය මුරකරුවන් විසින් නිවේදන කරනු ලැබේ. ශුද්ධවතුන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ, මානව රාජධානිවලට ඉහළින් මහෝත්තමයාණන් පරමාධිපති වගත්, උන්වහන්සේ කැමති කවරකුට වුව ඒවා දෙන වගත්, මිනිසුන් අතරේ ඉතාම පහත් කෙනකු ඒවාට පත් කරන වග ජීවත් ව සිටින්නන් දැනගන්නා පිණිස යැ’ යි පැවසී ය. “මෙම සිහිනය නෙබුකද්නෙසර් රජු වන මා දුටු එකයි. එම්බා බේල්ටෙෂසර්, දැන් ඔබ එහි අරුත මට කියා දෙන්න. මන්ද මට මෙහි අරුත පහදා දීමට මගේ රාජ්‍යයේ කිසිදු ප්‍රාඥයකුට පුළුවන් වුණේ නැහැ; එහෙත් ඔබට පුළුවන. මන්ද ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඔබ තුළ ඇතැ” යි පැවසී ය.

