දානියෙල් 4:34-37

දානියෙල් 4:34-37 SCV

එම කල දවස් ගෙවුණු පසු, නෙබුකද්නෙසර් වන මම, ස්වර්ගය දෙසට මගේ ඇස් එසවීමි. මගේ ප්‍රකෘති සිහිය යළි මම ලදිමි. එවිට මම, මහෝත්තමයාණන්ට ප්‍රශංසා කළෙමි; සදාතනික ව වාසය කරන උන්වහන්සේට ගෞරව කළෙමි. මහිමය දුනිමි. මන්ද උන්වහන්සේගේ ආධිපත්‍යය සදාතනික රාජාධිපත්‍යයකි. උන්වහන්සේගේ රාජ්‍යය පරපුරින් පරපුරට පවතී. මිහි මත වෙසෙන සියල්ලන් කිසි වටිනාකමක් නැති සේ සැලකේ. ස්වර්ග සේනා අතරේ ද පොළොවේ ජනයින් අතරේ ද උන්වහන්සේ තමන් රිසි සේ ක්‍රියා කරන සේක. උන්වහන්සේගේ අත නවතාලිය හැකි කෙනකු නැත. මන්ද, “කුමක් ද ඔබ කළේ?” කියා උන්වහන්සේට කිව හැකි කෙනකු ද නැත. මගේ ප්‍රකෘති සිහිය යළි මා ලද අවස්ථාවේදී ම, මගේ රාජ්‍යයේ මහිමය උදෙසා රාජශ්‍රීයත්, තේජශ්‍රීයත් යළි මට ලැබිණි. මගේ උපදේශකයෝ හා වංශවත්හු මගේ ඇසුර සොයා ආහ. මගේ සිහසුනට යළි පත් කරනු ලැබ, මම පෙරටත් වඩා ශ්‍රේෂ්ඨත්වයට පත් වීමි. නෙබුකද්නෙසර් වන මම දැන්, ස්වර්ගයේ රජ්ජුරුවාණන්ට ප්‍රශංසා කරමි; උන්වහන්සේ උසස් කරමි; ගෞරවයට පමුණුවමි; මන්ද උන්වහන්සේ කරන හැම දෙයක් ම නිවැරදි ය; උන්වහන්සේගේ සියලු මාර්ග යුක්ති සහගත ය; උඩඟු ලෙස හැසිරෙන්නන් පහත් කරන්නට උන්වහන්සේට පුළුවන.

මෙයට අදාළ වීඩියෝ