දානියෙල් 3:13-30
දානියෙල් 3:13-30 SCV
එවිට කෝපයෙන් වියරු වූ නෙබුකද්නෙසර්, ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද ගෙනෙන්නට නියෝග කළේ ය. එබැවින් ඒ මිනිස්සු රජු ඉදිරියට පමුණු වන ලදහ. ඔවුන් ඇමතූ නෙබුකද්නෙසර්, “ඒක ඇත්ත ද! එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! නුඹලා මගේ දෙවිවරුන්ට සේවය කරන්නේත්, මා පිහිටූ රන් පිළිමයට නමස්කාර කරන්නේත් නැතැයි කියන එක? දැන් හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල සංගීත නාදය ඔබට ඇසෙන කල, මා හදා ඇති පිළිමයට බිම වැතිරී නමස්කාර කරන්නට ඔබ සූදානම් වූවොත් යෙහෙකි. එහෙත් ඔබ ඊට නමස්කාර නො කරන්නේ නම්, ඇවිළෙන ගිනි උදුනක් තුළට එවේලේ ම ඔබ හෙළා දැමේ. එවිට මගේ අතින් ඔබ මුදාලීමට සමත් දෙවියා කවුරු දැ?” යි ඇසී ය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ රජුට පිළිතුරු දෙමින්, “එම්බා නෙබුකද්නෙසර්, මේ කාරණයේදී ඔබ ඉදිරියේ නිදහසට කරුණු කීමේ වුවමනාවක් අපට නැත. එසේ කරනු ලැබුවත්, ඇවිළෙන ගිනි උදුනෙන් අප ගලවා ගන්නට අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. එම්බා රජ්ජුරුවනි, ඔබේ අතින් උන්වහන්සේ අප මුදාලන සේක. උන්වහන්සේ එසේ නො කළත්, අහෝ රජ්ජුරුවනි, ඔබේ දෙවිවරුන්ට අප සේවය කරන්නේ නැති වගත්, ඔබ පිහිටූ රන් පිළිමයට අප නමස්කාර කරන්නේ නැති වගත් දැනගන්න” යි කීහ. එවිට නෙබුකද්නෙසර් මුළුමනින් කෝපාවිෂ්ට විය. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ වෙත ඔහුගේ මුහුණේ ස්වාභාව වෙනස් විය. ගිනි උදුන එහි සාමාන්‍ය උෂ්ණත්වයට වඩා හත් ගුණයකින් රත් කරන්නට ඔහු නියෝග කළේ ය. ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද බැඳ, ඇවිළෙන ගිනි උදුනට ඔවුන් හෙළා දමන ලෙස, ඔහු තම හමුදාවේ වඩා ශක්තිමත් හේවායින් කීපදෙනකුට නියෝග කළේ ය. එබැවින් ඒ මිනිස්සු ඔවුන් ඇඳ සිටි සළු, කබා, තලප්පා හා සෙසු ඇඳුම් පිටින් ම බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළා දමන ලදහ. රජුගේ අණ ඒ සා හදිසි වූ නිසාත්, ගිනි උදුන අධික ලෙස රත් ව තිබූ නිසාත් ඒ වියරු ගිනි දළුවලින් ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ඔසවාගෙන ගිය සෙබළුන් මරා දැමිණ. ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ යන තිදෙනා ම බැඳි බැමි පිටින් ම ඇවිළෙන ගිනි උදුන තුළට වැටුණහ. එවිට විස්මයෙන් ඇලළී හදිසියෙන් ම නැගී සිටි නෙබුකද්නෙසර්, “අප ගින්නට හෙළා දැම්මේ බඳිනු ලැබූ මිනිසුන් තුන් දෙනෙක් නො වේ දැ?” යි ඔහුගේ උපදේශකයන්ට කියා පෑවේ ය. “සත්තකින් ම එසේය රජතුමනි” යි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට ඔහු, “අර බලන්න! මිනිසුන් සතර දෙනෙක් බැඳුම් නොමැතිව, ගින්න මැද ඇවිදිනු මට පෙනේ; ඔවුන්ට උපද්‍රවයක් නැත. සතරවැන්නා පෙනුමෙන් දෙවියන්ගේ පුත්‍රයකු වගේ” යි පැවසී ය. එවිට නෙබුකද්නෙසර් ඇවිළෙන උදුනෙහි පිවිසුම අසලට ළං වී, මොර ගසා, “ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ! මහෝත්තම දෙවියන්වහන්සේගේ සේවකයිනි, පිටතට එන්න! මෙහි එන්නැ” යි කියා පෑ ය. එවිට ෂද්‍රක්, මේෂක් හා අබේද්-නෙගෝ ගින්නෙන් පිටතට ආහ. දේශාධිපතීහු, ප්‍රදේශාධිපතීහු, ආණ්ඩුකරුවෝ හා රාජකීය උපදේශකයෝ ද ඔවුන් වටකර ගත්හ. ඒ තිදෙනාගේ සිරුරුවලට ගින්න කිසි උපද්‍රවයක් කර නැති වග, ඔවුන්ගේ හිස කෙසකුදු දැවී නැති වග ඔවුහු දුටුවහ. ඔවුන්ගේ සළුවලට ගින්න වැදී තිබුණේ නැත. ඔවුන් ළඟ ගිනි ගඳ තිබුණේ ද නැත. එවිට නෙබුකද්නෙසර්, “ෂද්‍රක්ගේ, මේෂක්ගේ හා අබේද්-නෙගෝගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා! ස්වකීය දූතයා එවා, උන්වහන්සේ තම සේවකයින් මුදා ගත් සේක. ඔවුහු උන්වහන්සේ පිට විශ්වාසය තැබුවෝ, රජුගේ අණට පිටුපාමින්, තමන්ගේ දෙවියන්වහන්සේට මිස, අන් දෙවියකුට සේවය කරනවාටත්, නමස්කාර කරනවාටත් වඩා තම ජීවිතය දෙන්නට කැමති වූහ. එබැවින් ෂද්‍රක්ගේ ද මේෂක්ගේ ද අබේද්-නෙගෝගේ ද දෙවියන්වහන්සේට එරෙහිව කතා කරන කවර ජනතාවකට, කවර ජාතියකට, කවර භාෂාවකට අයත් කවරකු වුව ද, අවයවයෙන් අවයවය කපා දමනු ලබන බවටත්, ඔවුන්ගේ නිවෙස් සුන්බුන් ගොඩවල් කර දමනු ලබන බවටත් මම නියෝග කරමි. මන්ද මේ අයුරින් ගලවන්නට සමත් අන් දෙවි කෙනකු නැතැ” යි කීවේ ය. රජු, ඉන්පසුව ෂද්‍රක් ද මේෂක් ද අබේද්-නෙගෝ ද බබිලෝනි පළාතේ තත්වයෙන් වඩාත් උසස් කළේ ය.

