දානියෙල් 3:1-7

දානියෙල් 3:1-7 SCV

නෙබුකද්නෙසර් රජු හැට රියනක් උස, හය රියනක් පළල රන් පිළිමයක් සාදා, බබිලෝනි පළාතේ දූරා තැන්නෙහි එය සිටුවී ය. පසුව නෙබුකද්නෙසර් රජු පිහිටුවා තිබූ පිළිමය කැප කිරීමේ අවස්ථාවට එක් වන ලෙස දේශාධිපතීන්, ප්‍රදේශාධිපතීන්, ආණ්ඩුකාරයින්, උපදේශකයින්, භාණ්ඩාගාරිකයින්, විනිශ්චයකරුවන්, මහේස්ත්‍රාත්වරුන් හා ඒ ඒ පළාත්හි සියලු නිලධාරීන් කැඳවමින්, නෙබුකද්නෙසර් රජු පණිවුඩ යැවී ය. එවිට දේශාධිපතීහු, ප්‍රදේශාධිපතීහු, ආණ්ඩුකාරවරු, උපදේශකයෝ, භාණ්ඩාගාරිකයෝ, විනිශ්චයකරුවෝ, මහේස්ත්‍රාත්වරු හා පළාත්හි සෙසු සියලු නිලධාරීහු නෙබුකද්නෙසර් රජ පිහිටුවා තිබූ පිළිමය කැප කිරීමට එක් රැස් වූවෝ, නෙබුකද්නෙසර් රජු පිහිටුවා තිබූ පිළිමය අබියස සිටගත්හ. එවිට රාජ-ප්‍රකාශකයා උස් හඬ නගා මෙසේ ප්‍රකාශ කළේ ය: “එම්බා ජනයිනි, ජාතීනි, විවිධ භාෂා කතාකරන්නනි, නුඹලාට මෙසේ අණ කරනු ලැබේ; හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල විධ සංගීත නාදය ඔබට ඇසුණු විගස, බිම වැතිර, නෙබුකද්නෙසර් රජු පිහිටුවා ඇති රන් පිළිමයට නමස්කාර කළ යුතුයි. බිම වැටී නමස්කාර නො කරන කවරකු වුව ඇවිළෙන ගිනි උදුනක් තුළට එවේලේ ම හෙළා දැමේ.” එබැවින් හොරණෑ, බටනළා, සිතාර, වීණා, මහ වීණා, නළා හා සකල විධ සංගීත නාදය ඇසුණු විගස ජනතාවෝ, ජාතීහු හා ඒ ඒ භාෂා කතාකරන්නෝ යන සියල්ලෝ බිම වැතිරී, නෙබුකද්නෙසර් රජු පිහිටුවා තිබූ රන් පිළිමයට නමස්කාර කළෝ ය.