දානියෙල් 11

11
1මේදීය දාරෙයාවෙෂ්ගේ#11:1 දාරෙයාවෙෂ්ගේ ග්‍රීක් දාරියුස්ගේ රාජ්‍ය සමයේ පළමු වසරේ මම#11:1 මම එනම් මිනිසකු බඳු තැනැත්තා දානි 10:18 ඔහු ස්ථිර කරන්නටත්, ශක්තිමත් කරන්නටත් නැගී සිටියෙමි.
දකුණේ හා උතුරේ රජවරු
2“දැන් මා ඔබට කියන්නේ ඇත්ත; ඔන්න, තවත් රජවරු තුන් දෙනෙක් පර්සියාවෙහි නැගිටිනු ඇත. ඉන්පසු එන සතරවැන්නා ඒ හැම දෙනාට ම වඩා ධනවත් වනු ඇත. ඔහු තම ධනයෙන් බලය අත්කර ගත් පසු, ග්‍රීක#11:2 ග්‍රීක හෙබ්‍රෙව් යාවාන් රාජ්‍යයට එරෙහිව අන් හැම පොලඹවනු ඇත. 3ඉන්පසු බලවත් රජකු නැගිට, මහත් බලයෙන් යුක්ත ව රජකම් කරමින්, තමා රිසි පරිදි කටයුතු කරනු ඇත. 4ඔහු බලයට පත් වූ පසු, ඔහුගේ අධිරාජ්‍යය බිඳී, අහසේ සුළං හමන හතර දිසාවට කැඩී යනු ඇත. එය ඔහුගේ දරු පරපුරට අත් නො වේ. ඔහු දැරූ ප්‍රබලත්වය ද එහි නො පවතී. මන්ද ඔහුගේ අධිරාජ්‍යය මුලිනුදුරා දමනු ලැබ, අන් අයට දෙනු ලබන බැවිනි.
5“දකුණේ රජ බලවත් වනු ඇත. එහෙත් ඔහුගේ සෙන්පතියෙක් ඔහුටත් වඩා බලවත් වී, තමාගේ රාජධානියේ ඉමහත් අධිකාරිත්වයෙන් යුක්ත ව රජකම් කරනු ඇත. ඔහුගේ අධිකාරිත්වය ප්‍රබල ය. 6වසර කීපයකට පසු ඔවුහු සන්ධානයකට එළැඹෙනු ඇත. දකුණේ රජුගේ දියණිය එකඟත්වයක් ඇතිකර ගන්නට උතුරේ රජු වෙත යනු ඇත. එහෙත් ඇය තම බලය රඳවා තබා ගන්නේ නැත. ඔහු ද ඔහුගේ බලය ද නො පවතී. එදවස්හි ඈ ද ඇය සමඟ ඇගේ සපිරිවර ද ඇගේ පියා ද ඇගේ ආධාරකරු ද පාවා දෙනු ලබති.
7“ඇගේ ම මුලකින් හට ගැනෙන අත්තක් ඔහුගේ තැන ගන්නට නැගිටිනු ඇත. ඔහු උතුරේ රජුගේ හමුදාවට පහර දී, ඔහුගේ බළකොටුවට ඇතුළු වනු ඇත. ඔහු ඔවුනට එරෙහිව සටන් කොට, ජයග්‍රාහී වනු ඇත. 8ඔහු ඔවුන්ගේ දෙවිවරුන් වන ඔවුන්ගේ පිළිම ද රිදීයෙන් හා රනින් කළ ඔවුන්ගේ වටිනා බඳුන් ද අත්කර ගෙන, ඒවා ඊජිප්තුවට ගෙන යනු ඇත. ඉන්පසු වසර කීපයක් උතුරේ රජුට පහර දීමෙන් ඔහු වළකිනු ඇත. 9ඉන්පසු උතුරේ රජු, දකුණේ රජුගේ රාජධානිය ආක්‍රමණ කළ ද, තම රටට පසු බසිනු ඇත. 10ඔහුගේ පුත්‍රයින් යුද්ධයට සූදානම් වී, මහ සේනාවක් එක් රැස් කරනු ඇත. එය කඩා බිඳ යන ගංවතුරක් සේ පෙරට යමින්, සටන සතුරු රජුගේ බළකොටුව දක්වා ම ගෙන යනු ඇත.
11“එවිට දකුණේ රජු දැඩි කෝපයෙන් යුද්ධයට පිටත් ව අවුත්, උතුරේ රජුට එරෙහිව සටන් වදිනු ඇත. උතුරේ රජු විශාල සේනාවක් රැස් කර ගන්නා නමුත්, එය පරාජය වනු ඇත. 12එම සේනාව අල්ලා ගත් පසු, දකුණේ රජු අහංකාරයෙන් පිරී, දස දහස් ගණන් සේනා ඝාතන කරනු ඇත. එහෙත් ඔහු ජයග්‍රාහී වන්නේ නැත. 13මන්ද උතුරේ රජු පළමු සේනාවට වඩා විශාල සේනාවක් රැස් කරන බැවිනි. වසර කීපයකට පසු ඔහු මුළුමනින් ම සන්නද්ධ වූ විශාල සේනාවක් ද සමඟ පෙරට එනු ඇත.
14“එකල දකුණේ රජුට එරෙහිව බොහෝ දෙනකු නැගිටිනු ඇත. දර්ශනය සැබෑ කරමින්, ඔබේ ම ජනයා අතර සැහැසි මිනිසුන් කැරලි ගසනු ඇත. එහෙත් ඔවුන් සඵල නො වේ. 15ඉන්පසු උතුරේ රජු අවුත්, වැටලුම් ගොඩැලි නගා, බළකොටු නගරයක් අල්ලා ගනු ඇත. ඊට එරෙහි වන්නට දකුණේ හමුදා සමත් වන්නේ නැත. ඔවුන්ගේ ඉතාම හොඳ භටයින්ට පවා, ඊට එරෙහි වන්නට ශක්තිය නැති වන්නේ ය. 16එහෙත් ඔහුට එරෙහිව එන්නා තමන් රිසි පරිදි ක්‍රියා කරනු ඇත. ඔහුට එරෙහි වන්නට කිසිවකු සමත් නො වේ. විනාශ කිරීමේ බලය ද අතැතිව ඔහු අලංකාර දේශයෙහි සිටගනු ඇත. 17තම රාජ්‍යයේ මුළු බලයෙන් යුතු ව එන්නට අදිටන් කර, ඔහු දකුණේ රජු සමඟ සන්ධානයකට එළැඹ, ඒ රාජ්‍යය පෙරළා දමන පිණිස දියණියක ඔහුට ආවාහ කර දෙනු ඇත. එහෙත් ඔහුගේ සැලසුම සඵල නො වේ. ඒවා ඵලදායී නො වේ. 18ඉන්පසු ඔහු මුහුදුබඩ පෙදෙස් වෙත සිය අවධානය යොමා, ඉන් බොහොමයක් අල්ලා ගනී. එහෙත් සෙන්පතියකු ඔහුගේ නින්දිතකම් අවසන් කර, ඔහුගේ නින්දිතකම් ඔහු පිටට ම ආපසු හරවනු ඇත. 19ඉන්පසුව ඔහු තමාගේ රටේ බළකොටුවලට ආපසු හැරෙනු ඇත. එහෙත් ඔහු පැකිළී, වැටී යයි. ඔහු යළි දකින්නට නො ලැබෙයි.
20“ඉන්පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා රාජකීය ශෝභාව පවත්වාගෙන යෑම සඳහා, බදු අයකරන්නකු පිටත් කර හරිනු ඇත. එහෙත්, ටික දිනකින් ඔහු බිඳ වැටේ. ඒ කෝපයෙන්වත්, යුද්ධයෙන්වත් නො වේ.
21“ඔහුගෙන් පසු ඒ තනතුරට පත් වනු ඇත්තේ, රාජකීය ගෞරවය දෙනු නො ලැබූ නීච පුද්ගලයෙකි. අනතුරක සේයාවක් හෝ නො දක්වා පැමිණෙන ඔහු එය අල්ලා ගන්නේ කූටෝපායයෙනි. 22හමුදාවන් ඔහු ඉදිරියෙහි සහමුලින් වනසා දැමේ; ගිවිසුමේ කුමරාත් වනසා දැමේ. 23ඔහු සමඟ සන්ධානගත වූ කාලයේ සිට, ඔහු වංචනික ව ක්‍රියා කොට, සුළු පිරිසක් සමඟ බලයට පත් වනු ඇත. 24අනතුරු නො අඟවා, ඉසුරුමත් පළාත් ආක්‍රමණ කරන ඔහු තම පියවරුන්වත්, පියවරුන්ගේ පියවරුන්වත් නො කළ පරිදි කොල්ලකා ගත් දෑ ද පැහැර ගත් දෑ ද වස්තුව ද ඔහු තම අනුගාමිකයින් අතරේ බෙදා දෙනු ඇත. බළකොටු පෙරළා දැමීමට ඔහු කුමන්ත්‍රණ කරන නමුදු, ඒ සුළු කලකට පමණි.
25“විශාල සේනාවක් ඇති ව ඔහු දකුණේ රජුට එරෙහිව තම ශක්තියත්, ධෛර්යයත් පුබුදුවා ගනු ඇත. දකුණේ රජු අති විශාලවූත්, අති බලවත් වූත් සේනාවක් සහිත ව යුද වදින නමුදු, ඔහුට එරෙහිව කෙරෙන කූටෝපායයන් නිසා නැගී සිටින්නට ඔහුට හැකි නො වේ. 26රජු විනාශ කරන්නට උත්සාහ කරනු ඇත්තේ, ඔහුගේ ම ආහාරවලින් යැපෙන්නන් ය. ඔහුගේ සේනාව ද වැනසී යනු ඇත. බොහෝ දෙනකු යුද්ධයේදී මැරී, වැටී යනු ඇත. 27මෙම රජුන් දෙදෙනා නපුරට නැඹුරු වූ තම හදවත්වලින් යුතු ව එක ම මේසයක වාඩිගෙන, එකිනෙකාට මුසා පවසනු ඇත. එහෙත් ඉන් පලක් නො වේ. මන්ද නියමිත කාලයට අවසානය පැමිණෙන්නට ඇති බැවිනි. 28ඔහු#11:28 ඔහු එනම් උතුරේ රජු මහා ධන සම්භාරයක් ද ඇති ව තමාගේ රටට පෙරළා එනු ඇත. එහෙත් තම හදවත ශුද්ධ ගිවිසුමට එරෙහිව යොමු කර, ඊට එරෙහිව ක්‍රියා කොට, ඉන්පසු තම රටට හැරී එනු ඇත.
29“නියමිත කාලයේදී ඔහු යළි දකුණට ආපසු එන්නේ ය. එහෙත් මෙවර ප්‍රතිඵලය කලින් වතාවට වඩා වෙනස් වෙයි. 30කිත්තීම්හි නැව් ඔහුට විරුද්ධ ව එනු ඇත. ඉන් අධෛර්යට පත් වී, ආපසු හැරෙන ඔහු, ශුද්ධ ගිවිසුමට එරෙහි වූ තම ක්‍රෝධය ප්‍රකාශ කරනු ඇත. ඔහු පෙරළා අවුත්, ශුද්ධ ගිවිසුම අත්හරින්නන්ට ප්‍රසාදය පානු ඇත.
31“ඔහුගේ සන්නද්ධ හමුදා, දේව මාලිගය සහ බළකොටුව කෙලෙසන්නට නැගී අවුත්, දිනපතා පූජාව අවලංගු කරනු ඇත. ඉන්පසු ඔවුහු බිහිසුණු පාළුව ගෙනෙන පිළිකුල පිහිටුවනු ඇත. 32ගිවිසුම කැඩූවන් ඔහු චාටු කතාවෙන් දූෂ්‍ය කරනු ඇත. එහෙත් තම දෙවියන්වහන්සේ හඳුනන ජනයා දැඩි ලෙස ඔහුට එරෙහිව නැගිට, ක්‍රියා කරනු ඇත.
33“ජනයා අතරේ ප්‍රඥාවන්තයින්, අන් බොහෝ දෙනකු දැනුම්වත් කරනු ඇත. එසේ වුව ද, කලකදී ඔවුන් කඩු මූණතින් හෝ පුළුස්සනු ලැබීමෙන් හෝ සිරබාරයට ගනු ලැබීමෙන් හෝ කොල්ලකනු ලැබීමෙන් හෝ වැටී යනු ඇත. 34වැටී යන කල ඔවුනට මද උපකාරයක් ලැබෙනු ඇත. බොහෝ දෙනකු වංක භාවයෙන් ඔවුනට එකතු වනු ඇත. 35ප්‍රඥාවත් ඇතමකු පැකිළෙනු ඇත. එසේ වන්නේ, ඔවුන් ශෝධනය කරනු ලබන පිණිසත්, පවිත්‍ර කරනු ලබන පිණිසත්, අවසාන කාලය දක්වා ඔවුන් නිර්මල ව තබන පිණිසත් ය. මන්ද අවසානය නියමිත කාලයට පැමිණෙන්නට තිබේ.
තමා ම උසස් කර ගන්න රජතුමා
36“රජු තම මනාපය පරිදි කටයුතු කරමින්, හැම දෙවියකුට ම ඉහළින් තමා ම උසස් කර, වර්ණනා කර ගනිමින්, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේට එරෙහිව නෑසූ-වීරූ අපහාස නගනු ඇත. උදහසේ කාලය සම්පූර්ණ කෙරෙන තුරු ඔහු සඵල වන්නේ ය. මන්ද නියම කරනු ලැබ ඇති දෑ ඉෂ්ට විය යුතු ව ඇත. 37තම පියවරුන්ගේ දෙවිවරුන් ගැනවත්, වනිතාවන්ගේ ආශාව වූ දෙවියා ගැනවත් ඔහු කිසි සැලකිල්ලක් දක්වන්නේ නැත. අන් කවර දෙවියකු ගැන වුව ද සැලකිල්ලක් නො දක්වන ඔහු ඒ සියල්ලන්ට ම ඉහළින් තමා උසස් කර ගනු ඇත. 38එහෙත් බළකොටු දෙවියකුට ඔහු ගරු බුහුමන් දක්වනු ඇත. ඔහුගේ පියවරුන් පවා නො දත් එම දෙවියාට ඔහු රනින් ද රිදීයෙන් ද වටිනා මැණික් ගලින් ද අගනා තෑගිවලින් ද බුහුමන් දක්වනු ඇත. 39විදේශීය දෙවියකුගේ උපකාරයෙන් ඔහු බලවත් බළකොටුවලට පහර දෙනු ඇත. තමා පිළිගනු ලබන අයට ඔහු බොහෝ සෙයින් ගරු නම්බු දෙනු ඇත. ජනයාගේ පාලකයින් කොට ඔවුන් පත් කරන ඔහු දේශය මුදලට#11:39 මුදලට හෙවත් දේශය තෑගි පිණිස කඩා දෙනු ඇත.
40“අවසාන කාලයේ දකුණේ රජු ඔහුට පහර දෙනු ඇත. උතුරේ රජ යුද්ධ රථ බළ ඇණියක් ද අශ්වාරෝහක බළ ඇණියක් ද නාවික බළ ඇණියක් ද සමඟින් ඔහුට එරෙහිව සුළි කුණාටුවක් සේ කඩා වදිනු ඇත. රටවල් බොහොමයක් ආක්‍රමණ කරන ඔහු, ගංවතුරක් සේ ඒවා මුළුමනින් ම සෝදා-පාළු කරනු ඇත. 41ඔහු අලංකාර දේශය ද ආක්‍රමණ කරනු ඇත. බොහෝ දෙනෙක් වැටී යනු ඇත. එහෙත් ඒදොම් දේශය හා මෝවබ් දේශය ද අම්මොන් නායකයින් ද ඔහු අතින් ගැලවෙනු ඇත. 42රටවල් බොහොමයකට ඔහු තම බලය පතුරනු ඇත; ඊජිප්තුව ද ඉන් නො ගැලවෙයි. 43ඊජිප්තුවේ රන් හා රිදී නිධාන ද එහි සියලු ධන සම්පත් ද ඔහු තම පාලනයට නතු කර ගනු ඇත. ලිබියානුවන් හා කූෂ්වරුන් ඔහුට යටත් ව යනු ඇත. 44එහෙත් නැගෙනහිරින් හා උතුරෙන් නැගෙන ආරංචිවලට ඔහු තැති ගනු ඇත. බොහෝ දෙනකු විනාශ කරන්නටත්, සමූලඝාතන කරන්නටත් ඔහු මහා වියරුවකින් පිටත් වනු ඇත. 45ඔහු තම මාලිග කූඩාරම් මුහුදටත්, ශුද්ධ අලංකාර කන්දටත් අතරෙහි පිහිටුවා, ඔහු තමාගේ අවසානයට පැමිණෙනු ඇත. කිසිවකු ද ඔහුට උපකාර කරන්නේ නැත.

දැනට තෝරාගෙන ඇත:

දානියෙල් 11: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න