දානියෙල් 10:11-19

දානියෙල් 10:11-19 SCV

ඔහු මා අමතමින්, “එම්බා දානියෙල්, බොහෝ ප්‍රේම ලත් මනුෂ්‍යය, දැන් මා ඔබට කියන්නට යන වචන සාවධාන ව කල්පනාවට ගන්න; නැගිට සිටගන්න; මන්ද මා එවන ලද්දේ ඔබ වෙතට යැ” යි කීවේ ය. ඔහු එසේ කී කල, මම වෙවුලමින් නැගිට, සිට ගත්තෙමි. තවද ඔහු, “බිය නො වන්න දානියෙල්; අවබෝධය ලබන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ යටත්වන්නටත් ඔබ ඔබේ මනස යොමු කළ මුල් දවසේ පටන් ඔබේ යාච්ඤා අසනු ලැබී ය. මා පැමිණියේ ඊට ප්‍රතිචාර වශයෙනි. එහෙත් පර්සියානු රාජධානියේ අධිපතියා විසිඑක් දවසක් මට එරෙහිව සිටියේ ය. එවිට ප්‍රධාන අධිපතීන්ගෙන් කෙනකු වන මිකායෙල් මගේ උපකාරයට පැමිණියේ ය. මන්ද මම පර්සියානු රජු වෙත රඳවා තබා සිටියෙමි. දැන් මා පැමිණියේ, ඔබේ ජනයාට මතු කුමක් සිදු වන්නේ දැයි පැහැදිලි කර දීමට ය. මන්ද දර්ශනය අදාළ වන්නේ එළැඹෙන මතු දවස්වලට යැ” යි කීවේ ය. ඔහු එය මට පවසන අතරේ මම මගේ මුහුණ බිමට නමාගෙන, කතා නැතිව සිටියෙමි. එවිට මෙන්න, මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනෙක් මගේ තොල් ස්පර්ශ කළේ ය. මම මගේ මුව විවර කර කතා කරන්නට වන්නෙමි. මා අබියස සිටගෙන සිටි තැනැත්තා ඇමතූ මම, “මා ස්වාමිනි, මේ දර්ශනය නිසා මම සන්තාපයෙන් මුසපත් වීමි. මා තුළ ශක්තියක් නැත. මගේ ස්වාමියාගේ සේවකයා කෙලෙස ඔබ හා කතා කරන්න ද මා ස්වාමිනි? මගේ ශක්තිය ගෙවී ගොසින්, හුස්ම ගැනීමත් මට අපහසු යැ” යි කීවෙමි. මිනිසකු බඳු තැනැත්තා යළි මා ස්පර්ශ කර, මට ශක්තිය ගෙන දී, “භය නො වන්න. බොහෝ ප්‍රේම ලත් මනුෂ්‍යය, ඔබට ශාන්ති වේවා! දැන් ශක්තිමත් වන්න. බලවත් වන්නැ” යි කීවේ ය. ඔහු කතා කළ විට ශක්තිමත් කරනු ලැබූ මම ඔහු අමතමින්, “මා ස්වාමිනි, ඔබ මා ශක්තිමත් කළ බැවින් කතා කරන්නැ” යි කීවෙමි.