දානියෙල් 1:1-8

දානියෙල් 1:1-8 SCV

යූදාහි රජු වූ යෙහෝයාකීම්ගේ රාජ්‍ය සමයේ තුන් වන වසරේ බබිලෝනියේ නෙබුකද්නෙසර් රජු යෙරුසලමට අවුත්, එය වැටලී ය. ස්වාමින්වහන්සේ යූදාහි රජු වූ යෙහෝයාකීම් ඔහුගේ අතට යටත් කර දුන් සේක්, දෙවියන්වහන්සේගේ ගෘහයේ වූ ඇතැම් භාණ්ඩ ද ඒ සමඟ දුන් සේක. ඔහු ඒවා ෂිනාර් දේශයේ තම දෙවියන්ගේ දෙවොලට ගෙන ගොස්, තම දෙවියන්ගේ ගබඩා නිවසෙහි දැමුවේ ය. ඉන්පසු රජු, තම මාලිග නිලධාරීන්ගේ ප්‍රධානී අෂ්පෙනස් අමතා, රාජකීයය වූ වංශවත් වූ ඉශ්‍රායෙල් ඇතැම් දෙනකු ගෙනෙන ලෙස අණ කළේ ය. ඔවුහු ශාරීරික දෝෂයකින් තොර, යෞවන, කඩවසම්, සකල ප්‍රඥාවෙහි සමත්, දැනගැන්ම, වටහාගැන්ම හා දැනුම් තේරුම් ඇති, රජ මාලිගයේ සේවයට සුදුස්සන් වූවන් විය යුතු විය. කල්දිවරුන්ගේ භාෂාව හා සාහිත්‍යය ඔවුනට ඉගැන්විය යුතු විය. රජු අහරට ගන්නා භෝජන හා රජු පානය කරන මිදි යුෂ යන දැයින් දිනපතා කොටසක් රජු ඔවුනට නියම කළේ ය. ඔවුන් තුන් අවුරුදු පුහුණුවක් ලැබිය යුතු විය. රජු ඉදිරියේ ඔවුන් පෙනී සිටිය යුතු වූයේ ඉන්පසුව ය. ඔවුන් අතරෙහි යූදා පුත්‍රයින් වූ දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියා ද වූහ. ප්‍රධාන නිලධාරී ඔවුනට අලුත් නම් තැබී ය: දානියෙල්ට බේල්ටෙෂසර් ද හනනියාට ෂද්‍රක් ද මිෂායෙල්ට මේෂක් ද අසරියාට අබේද්-නෙගෝ ද යන වශයෙනි. එහෙත් දානියෙල්, රාජ භෝජනයෙන් හා රජුගේ මිදි යුෂවලින් තමා අපවිත්‍ර කර නො ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. එබැවින් එසේ අපවිත්‍ර නො වී සිටීමට ප්‍රධාන නිලධාරියාගෙන් ඔහු අවසර ඉල්ලී ය.