කොලොස්සි 4:10-18

කොලොස්සි 4:10-18 SCV

මා හා සිරගත ව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ. යුස්තස් නම් ලත් යේසුස් ද ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මා හා සේවය කරන්නන් අතරේ සිටින චර්මඡේදිතයෝ ඔවුහු පමණෙකි. සැබවින් ම ඔවුන් මට මහත් සැනසිල්ලකි. ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණත ව, මුළුමනින් ම නිසැක ව ඔබ ස්ථිර ව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි. ඔබ උදෙසාත්, ලවොදිකයේ හා හියරපොලිසෙහි අය උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන වගට මම සාක්ෂි වෙමි. අපගේ ප්‍රේමණීය මිත්‍ර වෛද්‍ය ලූක් හා දේමස් ඔබට ආචාර කරති. ලවොදිකයෙහි සහෝදරයින්ටත්, නිම්පාටත්, ඇගේ නිවසෙහි රැස් වන සභාවටත් මගේ ආචාරය දන්වන්න. මෙම ලිපිය ඔබ අතරේ කියවූ පසු ලවොදිකයේ සභාවේදී ද කියවන්න. එසේ ම, ලවොදිකයන්ගේ ලිපිය ඔබ අතරෙහි කියවන්න. “ස්වාමින්වහන්සේ ඔබට පැවරූ වැඩ කොටස සම්පූර්ණ කරන්නට වග බලා ගන්නැ” යි අර්කිපස්ට කියන්න. පාවුල් වන මගේ ම අතින් මේ ආචාරය ලියමි. මා බැඳි සිර-බැඳුම් ගැන සිහි කරන්න. අනුග්‍රහය ඔබ සමඟ පවතීවා!

කොලොස්සි 4:10-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය