කොලොස්සි 2:2-9

කොලොස්සි 2:2-9 SCV

මගේ බලාපොරොත්තුව ඔවුන් හදවතින් දිරිගැන්වී, ප්‍රේමයෙන් එකට බැඳී, සම්පූර්ණ අවබෝධයේ උපරිම සමෘද්ධිය අත්කර ගැනීමයි. එවිට දෙවියන්වහන්සේගේ අබිරහස ඔවුන්ට දැනගත හැකි වෙයි. ඒ අබිරහස, ක්‍රිස්තුස්වහන්සේ ය. ප්‍රඥාවෙත්, අවබෝධයේත් සමස්ත ධන සම්භාරය ම ගබඩා කොට ඇත්තේ උන්වහන්සේ තුළ ය. මා මෙසේ කියන්නේ කිසිවකුගේ හෝ සියුම් චාටු තර්කවලින් ඔබ මුළා නො වන පිණිස ය. ගතින් මම ඔබ හමුවේ නැති නමුදු, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනය හා ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථිරකම දැක ප්‍රීති වෙමි. එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමියාණන් වශයෙන් පිළිගත් ලෙස ම උන්වහන්සේ තුළ ජීවත් වන්න; උන්වහන්සේ තුළ මුල් ඇද, ගොඩ නගනු ලැබ, ඔබට ඉගැන් වූ පරිදි ඇදහිල්ලේ සවිමත් ව සිට, බෙහෙවින් තුති දෙමින් එසේ කරන්න. ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. මන්ද උන්වහන්සේ තුළ පූර්ණ දේවත්වය මුළුමනින් ශරීරාකාරයෙන් වාසය කරයි.