කොලොස්සි 2:13-23

කොලොස්සි 2:13-23 SCV

ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණ වූ සේක. අපගේ හැම පාපයකට ම උන්වහන්සේ අපට සමාව දුන්නේ, අපට එදිරි ව, අපට විරුද්ධ ව නැගී තිබූ චෝදනා පත්‍රය, එහි නියෝග සමඟ කටුගා දැමීමෙනි. එය කුරුසියට තබා ඇණ ගැසීමෙන්, උන්වහන්සේ එය ඉවත් කළ සේක. උන්වහන්සේ, බලධාරීන් හා අධිපතීන් නිරායුධ කොට, කුරුසිය කරණකොටගෙන උන් පරදා ජය ගෙන, ප්‍රසිද්ධියේ ඔවුන් අවමානයට පත් කළ සේක. එබැවින් ඔබ ගන්නා ආහාර හා පාන ගැන හෝ මංගල්‍ය උත්සවයක් ගැන හෝ නව සඳ දවසක් ගැන හෝ සබත් දවසක් ගැන ඔබ විනිශ්චය කරන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. ඒවා පැමිණෙන්නට තිබූ දේවල ඡායාවක් පමණි; යථාර්ථය ක්‍රිස්තුස්වහන්සේ ය. ඔබට හිමි ත්‍යාගයට ඔබ නුසුදුස්සකු කිරීමට ව්‍යාජ යටහත්කමට හා දේව දූත නමස්කාරයට කැමති කිසිවකුට ඉඩ නො දෙන්න. තමන් දුටු දර්ශන ගැන පුරසාරම් දොඩමින්, තම මාංසික සිත් පුහු සංකල්පනාවලින් පුරවා ගෙන, උදාරම් වන ඔවුහු හිසට සම්බන්ධ නො වී සිටිති. මුළු සිරුර සන්ධි හා අස්ථි බැමි මගින් පෝෂණය කර, එකට බද්ධ කොට දෙවියන්වහන්සේගෙන් වූ වර්ධනයෙන් වර්ධනය වන්නට සලස්වන්නේ එම හිස ය. ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ මරණයට පත්වීමෙන්, ලෝකයේ යක්ෂාත්ම බලවේග වෙතින් වෙන් වුණි නම් තවමත් ලෝකයේ ජීවත් වන්නා සේ එහි නියෝගවලට ඔබ යටත් වන්නේ මන්ද: “මේවාට අත නො ගසනු! මේවා රස නො බලනු! මේවා ස්පර්ශ නො කරනු!” යන ඒ සියල්ල මිනිස් නියෝග හා ඉගැන්වීම් මත බිහි වූ ඒවා බැවින්, භාවිතයෙන් අභාවයට යෑමට නියමිත ය. තමන් ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මගින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.