ආමෝස් 3:1-11

ආමෝස් 3:1-11 SCV

එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, නුඹලාට එරෙහිව, ඊජිප්තු දේශයෙන් පිටතට මවිසින් ගෙන එන ලද මුළු පෙළපතට එරෙහිව, ස්වාමින්වහන්සේ පැවසූ මෙවදන්වලට සවන් දෙන්න: “මේ මහ පොළොවේ සියලු පෙළපත් අතරින් මගේ පළමු තේරීම වූයේ ඔබ පමණ ය. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම්වලට මම නුඹලාට දඬුවම් කරමි.” දෙදෙනකු එකඟ ව සිට තිබුණොත් මිස එක් ව ගමනක් යා ද? සිංහයකු ගොදුරක් නැති විටෙක, වන පෙතේ ගර්ජනා කරයි ද? ගොදුරක් හසු නො වූ විටෙක, සිංහයකු තම ලෙන තුළ ගොරවයි ද? උගුලට ඇමක් අටවා නැති විටෙක, කුරුල්ලකු එහි හසු වේ ද? උගුලට යමක් හසු නො වූ විටෙක, හබකක් බිමින් ගැස්සෙයි ද? පුරවරයක යුද්ධ හොරණෑ හැඬවෙන කල, එපුර වැසියන් තැති නො ගනී ද? ස්වාමින්වහන්සේ නො කළ සේක් නම්, පුරවරයකට විපත්තිය පැමිණේ ද? මන්ද තම සේවකයින් වන දිවැසිවරුනට තම රහස හෙළි නො කර, පරමාධිපති ස්වාමින්වහන්සේ කිසිවක් කරන්නේ නැත. සිංහයා ගර්ජනා කළේ ය. භය නො වන්නේ කවුරු ද? පරමාධිපති ස්වාමින්වහන්සේ කතා කළ සේක. දිවැසි වැකි නො පවසන්නේ කවුරු ද? අෂ්දෝද් බළකොටුවලට හා ඊජිප්තු දේශයේ බළකොටුවලට මෙසේ ප්‍රකාශ කරන්න: “සමාරියේ කඳුවලට එක් රැස් වන්න, ඇය මධ්‍යයේ ඇති නො සන්සුන් භාවය හා එහි ජනයා අතරේ වන පීඩාව බලන්න.” “සැහැසිකම හා මංකොල්ලය තම බළකොටුවල ගොඩ ගසා ගෙන සිටින මොවුන් හරි දේ කරන්නට දන්නේ නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “සතුරකු දේශය වට කොට, ඔබගේ ආරක්ෂක විධි විධාන බිඳ හෙළා, ඔබගේ බළකොටු කොල්ලකනු ඇත.”

මෙයට අදාළ වීඩියෝ

ආමෝස් 3:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය