ආමෝස් 2:6-16

ආමෝස් 2:6-16 SCV

ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඉශ්‍රායෙලයේ අපරාධ තුනක් සහ හතරක් නිසා, මම දඬුවම අහෝසි නො කරමි. මන්ද ඔවුහු ධර්මිෂ්ඨයින් රිදීවලට විකුණති; පාවහන් සඟලක් නිසා දුප්පතුන් විකුණති. ඔවුහු පොළොවේ දූලි පාගන්නා සේ, දුප්පතුන්ගේ හිස්-ගෙඩි පාගති; පීඩිතවූවන්ගෙන් යුක්තිය වළකති. පිය-පුතු දෙදෙනා ම එක කෙල්ලක වෙත එළැඹ, මගේ ශුද්ධ නාමය කෙලෙසති. උගසට ගත් වස්ත්‍ර එළාගෙන, ඔවුන් හැම පූජාසනයක් පසෙක ම දිගා වන්නේ ය; දඩ වශයෙන් ලබා ගත් මිදි යුෂ තම දෙවියන්ගේ ගෘහයේදී පානය කරන්නේ ය. “එහෙත්, ඔවුන් ඉදිරියෙන් අමෝරිවරුන් විනාශ කර දැම්මේ මා ය. දේවදාර ගස මෙන් උසින් යුතු, ආලෝන් කඳක් මෙන් සවියෙන් යුතු, ඉහළින් පල ද පහළින් මුල් ද යන වශයෙන් මම ඔවුන් විනාශ කළෙමි. තවද ඊජිප්තු දේශයෙන් පිටතට නුඹලා ගෙන ආවේත් මා ය. අමෝරිවරුන්ගේ දේශය නුඹලා අත්කර ගන්නා පිණිස හතළිස් වසරක් මම පාළුකරයේ නුඹලාට මග පෙන්වීමි. “තවද, මම නුඹලාගේ පුතුන් අතරින් දිවැසිවරුන් ද නුඹලාගේ තරුණයින් අතරින් නසිරීයයන් ද නැගිටවීමි. එය එසේ ම නො වේ ද ඉශ්‍රායෙල් ජනයිනි?” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එහෙත් නසිරීයයන්ට අකැප මිදි යුෂ ඔවුනට බොන්නට සැලසූ නුඹලා, නුඹලා දිවැස් වැකි නොපවසනුයි දිවැසිවරුන්ට නියෝග කළහ. “ධාන්‍ය පැට වූ රියක් තුළ වන තෙරපීම පරිදි ඔන්න! මෙතැන දැන් මම නුඹලා තෙරපවන්නෙමි. ජව-වේග ඇත්තන් පලා යෑමේදී වැනසේ. ශක්තිමත්වූවන්ට තම සවිය වඩවා ගත නො හැක; ප්‍රබලයින් තම දිවි ගලවා නො ගනී. දුනුවායා නැගී සිටගන්නේ නැත. ශීඝ්‍ර ගමන් හේවායා තමා ගලවා නො ගනී. අසරුවා ද තම දිවි ගලවා ගන්නේ නැත. ප්‍රබලයින් අතරේ හදවතින් අභීතයින් පවා ඒ දවසේ නිර්වස්ත්‍ර ව පලා දුවනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

මෙයට අදාළ වීඩියෝ