ක්රියා 9:20-31
ක්රියා 9:20-31 SCV
කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්රයා යැ” යි ප්රකාශ කරන්නට වන්නේ ය. ඔහු එලෙස කතා කරනු ඇසූ සියල්ලෝ මවිත වී, “මේ නාමයට හඬ ගසන්නන්ට යෙරුසලමේදී මහ විනාශයක් කළේ මේ මිනිහා නො වේ ද? මොහු මෙහි ආවේත්, ඔවුන් සිරබාරයට ගෙන, නායක පූජකයින් වෙත ගෙන යෑමට නො වේ දැ?” යි ඇසූහ. එහෙත් සාවුල්, කතාවේ වඩ වඩා බලවත් වෙමින්, යේසුස්වහන්සේ ක්රිස්තුස්වහන්සේ ම වග සනාථ කරමින් දමස්කයේ විසූ යුදෙව්වරුන් නිරුත්තර කළේ ය. මෙසේ කලක් ගත වූ පසු සාවුල් මරා දැමීමට යුදෙව්වරු කුමන්ත්රණ කළහ. එසේ වුව ද ඔවුන්ගේ උපාය මාර්ගය සාවුල්ට දැනගන්නට ලැබිණි. ඔහු මරා දැමීමේ අදහසින් ඔවුහු දිවා රෑ දෙක්හි නගර දොරටු රැක සිටියහ. එහෙත් ඔහුගේ ගෝලයෝ, රැයක ලොකු කූඩයක සාවුල් හිඳුවා, නගර පවුරේ වූ කපොල්ලක් තුළින් නගරයෙන් පිටතට ඔහු බැස්සූහ. යෙරුසලමට පැමිණි සාවුල් එහි ගෝලයින් සමඟ එක් වන්නට උත්සාහ ගත්තේ ය. එහෙත් ඔහු සැබෑ ලෙස ම ගෝලයෙකැයි විශ්වාස නො කළ ඔවුහු ඔහු ගැන බය වූහ. එහෙත් බාර්ණබස් අපෝස්තුලුවරුන් වෙත ඔහු කැඳවාගෙන ගොස්, සාවුල්ගේ ගමනේදී ඔහු ස්වාමින්වහන්සේ දුටු අයුරුත්, ස්වාමින්වහන්සේ ඔහුට කතා කළ අයුරුත්, දමස්කයේදී යේසුස්වහන්සේගේ නාමයෙන් ඔහු අභීත ව දේශනා කළ අයුරුත් විස්තර කළේ ය. මෙසේ ඔවුන් සමඟ නැවතුණු සාවුල්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් අභීත ව දේශනා කරමින්, යෙරුසලමේ නිදහසේ සැරි සැරී ය. ඔහු ග්රීක් කතා කළ යුදෙව්වරුන් හා සාකච්ඡා කළේ ය; වාද කළේ ය. එහෙත් ඔවුහු, ඔහු මරා දමන්නට මං සෙවූහ. ඒ වග දැනගත් සහෝදරයෝ කායිසාරිය වෙත ඔහු කැඳවාගෙන අවුත්, තාර්සස් වෙත ඔහු පිටත් කර යැවූහ. මුළු යුදය, ගලීලය හා සමාරිය යන පෙදෙස් පුරා සභාවට සාමකාමී කාලයක් උදා විණි. සභාව ශුද්ධාත්මයාණන්ගේ අනුබලය ලබමින්, ස්වාමින්වහන්සේ වෙත භය භක්තියෙන් ද ගණනින් වැඩෙමින් ද ගොඩ නැගුණේ ය.

