ක්‍රියා 8:14-24

ක්‍රියා 8:14-24 SCV

සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් වග, යෙරුසලමේ අපෝස්තුලුවරුනට සැල වූ කල, ඔවුහු පේතෘස් හා යොහන් ඔවුන් වෙත පිටත් කළහ. එහි පැමිණි ඔවුහු ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤා කළහ. මන්ද ඒ වන තුරු, ඒ කිසිවකු පිට ශුද්ධාත්මයාණන් පහළ වී තිබුණේ නැති බැවිනි. ඔවුන් යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලැබ සිටියා පමණි. ඔවුහු ඔවුන් පිට අත් තැබූ කල්හි, ඔවුහු ශුද්ධාත්මයාණන් ලදහ. ඔවුන්ට ආත්මයාණන් දෙන ලද්දේ අපෝස්තුලුවරුන්ගේ අත් තැබීමෙන් බව දුටු සීමොන්, ඔවුන්ට මුදල් පාමින්, “මා යමකු පිට අත් තැබූ කල්හි ඔහුට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස මටත් ඔය බලය පවරන්නැ” යි ඉල්ලී ය. එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගත හැකියයි සිතූ නිසා, නුඹත් සමඟ නුඹේ මුදල් විනාශ වේවා! මේ සම්බන්ධ කිසි අයිතියක් හෝ පංගුකාරකමක් නුඹට නැත. මන්ද ඔබේ හදවත දෙවියන්වහන්සේ ඉදිරියේ හරි නැත. එබැවින් ඔබේ ඔය දුෂ්ටකම ගැන පසුතැවිලි වී, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. සමහර විට උන්වහන්සේ ඔබේ හදවතේ උපන් සිතිවිල්ලට කමා වනු ඇත. මන්ද ඔබ තදබල තික්තකමින් පිරී, පාපයට ගොදුරක් ව සිටිනු මට පෙනේ යැ” යි කීවේ ය. “ඔබ කී කිසිවක් මට සිදු නො වන පිණිස, මා උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නැ” යි සීමොන් ඔවුන්ගෙන් ඉල්ලී ය.