ක්‍රියා 7:35-40

ක්‍රියා 7:35-40 SCV

“වරක්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද?’ කියමින් ඔවුන් ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ මෝසෙස් ම ය. පඳුර තුළ ඔහුට පෙනුණු දේව දූතයා මගින් එම ජනයාගේ පාලකයා හා මිදුම්කරුවා කොට දෙවියන්වහන්සේ විසින් යවන ලද්දේ මොහු ම ය. ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ ඔහු ඊජිප්තුවේදීත්, රතු මුහුදේදීත්, පුරා හතළිස් වසරක් තුළ පාළුකරයේදීත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය. “ ‘මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් දෙවියන්වහන්සේ ඔබට නැගිටුවා දෙන සේකැ’ යි ඉශ්‍රායෙල් ජනතාවට කීවේත් මේ මෝසෙස් ය. පාළුකරයේ සභාවේත්, සීනයි කන්දේදී තමා හා කතා කළ දේව දූතයා සමඟත්, අපේ පියවරුන් සමඟත් සිටියේ මොහු ය. අපට බාර දෙනු පිණිස ජීවනයේ වදන් ලැබුණේත් ඔහුට ය. “එහෙත් අපේ පියවරු ඔහුට අවනත වීම ප්‍රතික්ෂේප කර, ඔහු පසෙකට කර, තම හදවත් ඊජිප්තුව දෙසට හැරවූහ. ඔවුහු ආරොන්ට කතා කොට, ‘අපේ පෙරමුණ ගැනීමට දෙවිවරුන් සාදන්න. ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ ඒ මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ’ යි කීහ.