ක්‍රියා 7:17-38

ක්‍රියා 7:17-38 SCV

“දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ආසන්න වෙත් ම, ඊජිප්තුව තුළ වූ අපේ ජන සංඛ්‍යාව අධික ව වර්ධන වූ අතර, ‘යෝසෙප් පිළිබඳ අවබෝධයක් නැති වෙනත් රජෙක් ඊජිප්තුවේ රජකමට පත් වූයේ ය.’ ඔහු අපේ ජනතාවට එරෙහිව කූට උපා යොදමින්, ඔවුන්ගේ බිළිඳු දරුවන් ජීවත් නො වන පිණිස ඔවුන් ගෙවලින් පිටත දමන ලෙස බල කරමින්, අපේ පියවරුනට කුරිරුකම් කළේ ය. “මෝසෙස් උපන්නේ මෙම වකවානුවේදී ය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දරුවෙක් විය. ඔහු තුන් මසක් තම පියාගේ නිවසේ වැඩිණි. ගෙයින් පිටතට ඔහු දැමූ කල, පාරාවෝගේ දූ කුමරි ඔහු රැගෙන ගොස්, තම පුත්‍රයා ලෙස ඔහු හදා-වඩා ගත්තා ය. ඊජිප්තුවරුන්ගේ සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්වනු ලැබ, මෝසෙස් කතාවෙහි ද ක්‍රියාවෙහි ද ප්‍රබලයකු ව සිටියේ ය. “හතළිස් වන වියට පත් පසු, තම සහෝදර ජනතාව වන ඉශ්‍රායෙල්වරුන්ගේ වගතුග බලන්නට යෑමට මෝසෙස්ට සිත් පහළ විය. එසේ යද්දී ඔවුන්ගෙන් කෙනකුට ඊජිප්තුවරයෙක් පීඩා කරනු දැක ඔහු බේරන්නට ගොස්, ඊජිප්තුවා ගසා හෙළා, පීඩිතයාගේ පළිය ගත්තේ ය. ඔහු සිතුවේ ඔවුන් ගලවා ගැනීමට දෙවියන්වහන්සේ තමා යොදවනු ඇතැයි තම ජනයා වටහා ගනිතැයි කියා ය. එහෙත් ඔවුන් වටහා ගත්තේ නැත. පසු දින ඔවුන් දබර කරද්දී පැමිණි ඔහු ඔවුන් සමඟි කරන අදහසින්, ‘මිනිසුනි, නුඹලා සහෝදරයෝයි! එකිනෙකාට හිරිහැර කරන්නේ මන්දැ?’ යි ඇසී ය. “එවිට තම අසල්වැසියාට වරද කළ තැනැත්තා මෝසෙස් තල්ලු කර දමමින්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද? ඊයේ අර ඊජිප්තුවා මරා දැමූ ලෙස මා මරන්නට එනවා දැ?’ යි ඇසී ය. ඒ ප්‍රකාශය ඇසූ මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයේ විදේශිකයකු සේ කල් ගෙවී ය. එහිදී ඔහු පුතුන් දෙදෙනකු ලැබී ය. “ඉන් හතළිස් වසරක් ගෙවුණු පසු, සීනයි කන්ද අසල කාන්තාරයේ ගිනි ඇවිළෙන පඳුරක් තුළින් දේව දූතයකු ඔහුට පෙනුණි. ඒ දැකුමෙන් විස්මිත වූ මෝසෙස් වඩා හොඳින් එය නරඹන පිණිස, ඒ අසලට ම ගියේ ය. එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ ඔහුට ඇසිණි. ‘ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ මම වෙමි.’ මෝසෙස් වෙවුලන්නට වී, තවත් ඒ දෙස බැලීමට භය විය. “එවිට ස්වාමින්වහන්සේ, ‘ඔබේ පාවහන් ගලවනු; මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි. මගේ ජනයා ඊජිප්තුවේ විඳින හිංසා-පීඩා සැබවින් මම දුටිමි; ඔවුන්ගේ සුසුම් ලෑම ඇසීමි; එබැවින් ඔවුන් ගලවනු පිණිස බැස ආවෙමි. එන්න! මම ආපසු ඊජිප්තුවට ඔබ යවන්නෙමි’ යි කී සේක. “වරක්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද?’ කියමින් ඔවුන් ප්‍රතික්ෂේප කරන ලද්දේ මේ මෝසෙස් ම ය. පඳුර තුළ ඔහුට පෙනුණු දේව දූතයා මගින් එම ජනයාගේ පාලකයා හා මිදුම්කරුවා කොට දෙවියන්වහන්සේ විසින් යවන ලද්දේ මොහු ම ය. ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ ඔහු ඊජිප්තුවේදීත්, රතු මුහුදේදීත්, පුරා හතළිස් වසරක් තුළ පාළුකරයේදීත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය. “ ‘මා හා සමාන දිවැසිවරයකු ඔබේ ජනයා අතරින් දෙවියන්වහන්සේ ඔබට නැගිටුවා දෙන සේකැ’ යි ඉශ්‍රායෙල් ජනතාවට කීවේත් මේ මෝසෙස් ය. පාළුකරයේ සභාවේත්, සීනයි කන්දේදී තමා හා කතා කළ දේව දූතයා සමඟත්, අපේ පියවරුන් සමඟත් සිටියේ මොහු ය. අපට බාර දෙනු පිණිස ජීවනයේ වදන් ලැබුණේත් ඔහුට ය.

ක්‍රියා 7:17-38 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය