ක්‍රියා 7:17-29

ක්‍රියා 7:17-29 SCV

“දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුව ඉටු කිරීමේ කාලය ආසන්න වෙත් ම, ඊජිප්තුව තුළ වූ අපේ ජන සංඛ්‍යාව අධික ව වර්ධන වූ අතර, ‘යෝසෙප් පිළිබඳ අවබෝධයක් නැති වෙනත් රජෙක් ඊජිප්තුවේ රජකමට පත් වූයේ ය.’ ඔහු අපේ ජනතාවට එරෙහිව කූට උපා යොදමින්, ඔවුන්ගේ බිළිඳු දරුවන් ජීවත් නො වන පිණිස ඔවුන් ගෙවලින් පිටත දමන ලෙස බල කරමින්, අපේ පියවරුනට කුරිරුකම් කළේ ය. “මෝසෙස් උපන්නේ මෙම වකවානුවේදී ය. ඔහු දෙවියන්වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දරුවෙක් විය. ඔහු තුන් මසක් තම පියාගේ නිවසේ වැඩිණි. ගෙයින් පිටතට ඔහු දැමූ කල, පාරාවෝගේ දූ කුමරි ඔහු රැගෙන ගොස්, තම පුත්‍රයා ලෙස ඔහු හදා-වඩා ගත්තා ය. ඊජිප්තුවරුන්ගේ සියලු ශිල්ප ශාස්ත්‍රය උගන්වනු ලැබ, මෝසෙස් කතාවෙහි ද ක්‍රියාවෙහි ද ප්‍රබලයකු ව සිටියේ ය. “හතළිස් වන වියට පත් පසු, තම සහෝදර ජනතාව වන ඉශ්‍රායෙල්වරුන්ගේ වගතුග බලන්නට යෑමට මෝසෙස්ට සිත් පහළ විය. එසේ යද්දී ඔවුන්ගෙන් කෙනකුට ඊජිප්තුවරයෙක් පීඩා කරනු දැක ඔහු බේරන්නට ගොස්, ඊජිප්තුවා ගසා හෙළා, පීඩිතයාගේ පළිය ගත්තේ ය. ඔහු සිතුවේ ඔවුන් ගලවා ගැනීමට දෙවියන්වහන්සේ තමා යොදවනු ඇතැයි තම ජනයා වටහා ගනිතැයි කියා ය. එහෙත් ඔවුන් වටහා ගත්තේ නැත. පසු දින ඔවුන් දබර කරද්දී පැමිණි ඔහු ඔවුන් සමඟි කරන අදහසින්, ‘මිනිසුනි, නුඹලා සහෝදරයෝයි! එකිනෙකාට හිරිහැර කරන්නේ මන්දැ?’ යි ඇසී ය. “එවිට තම අසල්වැසියාට වරද කළ තැනැත්තා මෝසෙස් තල්ලු කර දමමින්, ‘අපේ පාලකයා හා විනිශ්චයකාරයා කොට නුඹ පත් කර එවුවේ කවුරු ද? ඊයේ අර ඊජිප්තුවා මරා දැමූ ලෙස මා මරන්නට එනවා දැ?’ යි ඇසී ය. ඒ ප්‍රකාශය ඇසූ මෝසෙස් පලා ගොස්, මිදියන් දේශයේ විදේශිකයකු සේ කල් ගෙවී ය. එහිදී ඔහු පුතුන් දෙදෙනකු ලැබී ය.