ක්‍රියා 4:16-25
ක්‍රියා 4:16-25 SCV
“මේ මිනිසුන් ගැන අප කුමක් ද කරන්නේ? මොවුන් අතින් අති විශිෂ්ට හාස්කමක් සිදු වූ වග යෙරුසලමේ වෙසෙන සියල්ලන්ට පැහැදිලියි. එය නැතැයි කියන්නට අපට නුපුළුවන. එහෙත් මේ පුවත ජනයා අතරේ තවත් නො පැතිරෙන පිණිස, මින් මතු මේ නාමයෙන් කිසිවකුට කතා නො කරන්නැයි ඔවුන්ට තදින් අණ කළ යුතු යැ” යි කීහ. එබැවින් යළි ඔවුන් කැඳවූ ඔවුහු, යේසුස්වහන්සේගේ නාමයෙන් කොහෙත් ම කතා නො කිරීමට හා නූගැන්වීමට ඔවුන්ට නියෝග කළහ. එහෙත් පේතෘස් හා යොහන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේට වඩා, ඔබට කන්දීම දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හරිදැයි ඔබ ම තීරණය කරන්න. මන්ද අප ඇසූ දුටු දෑ ගැන කතා නො කර සිටින්නට අපට නුපුළුවනැ” යි කීහ. තවදුරටත් ඔවුන්ට තර්ජන කළ ඔවුහු, ඔවුන්ට යන්නට හැරියහ. සිදු වූ දේ ගැන මුළු මහත් ජනතාව ම දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ බැවින් ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමේ හේතුවක් සොයා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. මන්ද කරන ලද එම හාස්කමෙන් සුවය ලද මිනිසා හතළිස් විය ද ඉක්මවා සිටි බැවිනි. නිදහස් කරනු ලැබ, තම සගයින් වෙත ආපසු ආ ඔවුහු, නායක පූජකයින් හා වැඩිහිටියන් තමන්ට කී සියල්ල ඔවුන්ට දැන්වූහ. ඒ ඇසූ කල, ඔවුහු එක් ව, උස් හඬින් දෙවියන්වහන්සේ වෙත හඬ නගන්නට වූහ. “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස! අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ තැනැන්වහන්ස, ශුද්ධාත්මයාණන් මගින්, ඔබගේ සේවක-අපගේ පිය වූ දාවිත්ගේ මුවින් ඔබවහන්සේ කතා කරමින්, “ ‘කිමදෝ අන්‍ය-ජාතීන් උදහස් වන්නේ, ජනයා නිෂ්ඵල උපා යොදන්නේ?

