ක්‍රියා 3:1-16

ක්‍රියා 3:1-16 SCV

දිනක් පේතෘස් හා යොහන් යාච්ඤා වෙලාව වූ නව වන පැයේ දේව මාලිගය වෙත යමින් සිටියහ. උපතේ පටන් කොර මිනිසෙක් ද මෙවේලේ දේව මාලිගයේ සුදර්ශන නම් දොරටුව වෙත ගෙන යනු ලැබී ය. දේව මාලිගයට පිවිසෙන්නන්ගෙන් සිඟමන් යදින පිණිස, දිනපතා ඔහු එම දොරටුව අසල තබන ලදී. පේතෘස් හා යොහන් දේව මාලිගයට පිවිසෙන්නට යනු දුටු හෙතෙම, ඔවුන්ගෙන් සිඟමන් ඉල්ලී ය. පේතෘස්, යොහන් සමඟ එක එල්ලේ ඔහු දෙස බලා, ඔහු අමතමින්, “බලන්න, මෙහෙ අප දිහා” යි කීවේ ය. ඔහු ඕනෑකමින් ඔවුන් දෙස බැලුවේ යමක් ඔවුන්ගෙන් ලැබේ ය යන බලාපොරොත්තුවෙනි. එවිට පේතෘස්, “රිදීවත්, රත්රන්වත් මට නැත; එහෙත් මට ඇති දේ ඔබට දෙමි, නාසරෙත්හි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් නැගිට, ඇවිදින්නැ” යි පවසා, ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගුටු වී ය. එකෙණෙහි ම ඔහුගේ කොර පාද හා වළලුකර සවිවූයෙන්, ඔහු උඩ පැන, සිටගෙන, ඇවිදින්නට වන්නේ ය. මෙසේ ඔහු ඇවිදිමින්, පනිමින් හා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ඔවුන් සමඟ දේව මාලිගයට පිවිසියේ ය. ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ඇවිදින අයුරු දුටු සියල්ලෝ, දේව මාලිගාවේ සුදර්ශන දොරටුව ළඟ හිඳ, සිඟමින් සිටි මිනිසා ඔහු වග හැඳින, ඔහුට සිදු වූ අරුමය කවරේදැයි සිතාගත නො හැකි ව විමතියෙන් ද විස්මයෙන් ද පිරී ගියහ. මෙසේ විස්මයෙන් ඇලළුණු මුළු පිරිස, ඒ මිනිසා පේතෘස් හා යොහන් අතේ එල්ලී සිටියදී, ඔවුන් සිටි සාලමොන්ගේ මණ්ඩප යයි හැඳින්වෙන තැනට එක් ව දුවගෙන ආහ. පේතෘස් ඒ දැක ජනයා අමතමින්, “ඉශ්‍රායෙල් මිනිසුනි, මේ ගැන ඔතරම් පුදුමයෙන් මොකද? අපේ ම බලයෙන් හෝ භක්තිවන්තකමින් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවා සේ අප දෙස ඇස් දල්වා බලා ඉන්නේ මොකද? ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණ වූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරිපිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි. ඔබ කළේ පාරිශුද්ධ, ධර්මිෂ්ඨ තැනැත්තාණන් ප්‍රතික්ෂේප කර, මිනී මරුවකු ඔබට නිදහස් කර දෙන මෙන් ඉල්ලා සිටීමයි. මෙසේ ඔබ ජීවනයේ නිර්මාතෘවරයාණන් මරණයට පත් කළ ද, දෙවියන්වහන්සේ එතුමාණන් මළවුන්ගෙන් නැගිට වූ සේක. අපි ඊට සාක්ෂිකරුවෝයි. දැන් ඔබ දකින, ඔබ හඳුනන මේ මිනිසා සවිමත් ව සිටින්නේ, උන්වහන්සේගේ නාමයෙන් සහ ඒ නාමය තුළ ඇදහීමෙනුයි. ඔබ හැමගේ ඇස් ඉදිරිපිට මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබ ඇත්තේ යේසුස්වහන්සේගේ නාමය තුළ ඇදහීම මගිනි.

මෙයට අදාළ වීඩියෝ

ක්‍රියා 3:1-16 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය